කොටදෙනියාවේ අතුරුදන් වූ දරු දෙදෙනාට සිදු වූ දේ හෙළි වෙයි..

news Sri lanka kotadeniyawe
By Sithumi Jan 06, 2022 12:30 PM GMT
Sithumi

Sithumi

Report

කොටදෙණියාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ කුඩා ළමුන් දෙදෙනා මීරිගම නගරයේදී හමුවී ඇත්තේ ඊයේ (05) රාත්‍රී ආහාර ලබාගැනීම සඳහා වෙළඳසැලක් වෙත පැමිණි අවස්ථාවේදී බවට හෙළිවී තිබෙනවා. 

එම වෙළඳසැලේ කාන්තාව විසින් මෙම ළමුන් දෙදෙනා නිවසට කැඳවාගෙන ගොස් ආහාරපාන ලබාදී තොරතුරු විමසීමක් කර අද (06) උදෑසන මීරිගම පොලිසියට භාරදී තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ මෙම ළමුන් කොටදෙණියාව පොලිස් වසමේදී අතුරුදන් වූ ළමුන් දෙදෙනා බවටයි. 

පසුව වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් කොටදෙණියාව පොලිසියට භාරදී තිබෙනවා. කොටදෙණියාව පොලිස් වසමේ බාඳූරාගොඩ ප්‍රදේශයේ පදිංචි ඥාති සොහොයුරන් වන අවුරුදු 10 සහ 12 වයස්වල පසුවන ළමුන් දෙදෙනා අතුරුදන්ව ඇති බවට පසුගිය නොවැම්බර් මස 23 වනදායි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ. 

අනතුරුව ඔවුන් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පැතූ අතර ළමුන් දෙදෙනාගේ ඡායාරූප ද ප්‍රසිද්ධියට පත් කෙරුණා. දින 43 කට පසුවයි අනතුරුව ඔවුන් හමුවුණේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සහ කොටදෙණියාව පොලීසීය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, දරුවන් දෙදෙනා අතුරුදන්ව සිටි කාලය තුල ඔවුන් රැදී සිටි ස්ථාන සහ අතුරුදන් වූ ආකාරය අනාවරණ කර ගැනීම සඳහා සම්බන්ධයෙන් අදාළ විමර්ශන ක්‍රියාත්මක බවයි. 

පොලීසිය මොවුන්ගේ ඡායාරූප සහ තොරතුරු අවස්ථා දෙකකදී මාධ්‍ය වෙත නිකුත් කළ ද කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබුවා. දරුවන්ගේ මවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇය ද පරස්පර ප්‍රකාශ නිකුත් කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha