ඉන්ධන සැපයුම ගැන ජනපතිගෙන් දැනුම් දීමක්..

Gotabaya Rajapaksa Sri Lanka Kanchana Wijesekera
By Aruna Jun 28, 2022 03:19 AM GMT
Aruna

Aruna

Report

ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කරයි.

එතෙක් දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

දීර්ඝ කාලයක සිට මෙරටට ඉන්ධන ආනයනය කොට සැපයුම් කළ ප්‍රධාන සමාගම්වල නියෝජිතයන් සහ ජනාධිපතිතුමා අතර (27) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

තෙල් සැපයුම යථාවත් කිරීම සදහා මහ බැංකුවෙන් සහ ඛනිජ තෙල් සංස්ථාවෙන් මුදල් ලබාදීමටත්, මෙතෙක් අනුගමනය කළ ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රමවේදයට ඉන්ධන ලබා ගත නොහැකි වුවහොත් යම් සහන කාලයක් ඇතුළත ඉන්ධන ලබා ගැනීමට අදාළ මවු සමාගම් සමග සාකච්ඡා කිරීමටත් තීරණය කෙරිණ.

ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීමට සහ නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

මහ බැංකු අධිපතිවරයා හා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඝෘජුව මැදිහත්ව ඉන්ධන සැපයෙන මවු සමාගම්, ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය ආයතන සමග සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව ඉන්ධන සැපයුම් නියෝජිතයෝ පෙන්වා දුන්හ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ යන මහත්වරු, බලශක්ති ආයතන සහ රාජ්‍ය මූල්‍ය ආයතන ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ. –

ජනාධිපති මාධ්‍ය අංශය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now