පිං පොංට ආසනය දුන්නද? කැස්බෑව ගැන පොහොට්ටු සංවිධායක කියන දේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) කැස්බෑව ආසන සංවිධායක ධුරය ජනප්‍රිය රංගන ශිල්පී රජිත හිරාන් (පිං පොං) මහතාට පත් කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා පැතිර යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව පක්ෂයේ කැස්බෑව ආසන ප්‍රධාන සංවිධායක අජිත් නාරගල මහතා පවසයි.
මෙම ප්‍රවෘත්තිය පැතිරීමට හේතු වූයේ ජනවාරි 29 දින පිළියන්දල පිහිටි පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකදී රජිත හිරාන් මහතා ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී වී අමුත්තන්ගේ පොතේ සටහන් තැබූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වීමයි. එම ඡායාරූපය සමඟ එකතු කරමින් සමහරු මෙම ව්‍යාජ ප්‍රවෘත්තිය පළ කර තිබේ.
අජිත් නාරගල මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනකින් මේ බව තහවුරු කරමින් පවසා ඇත්තේ:
“අද දින 2026.01.29 දින කැස්බෑව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලය (Lotus office) පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මේ උත්සවයට සහභාගී වීම සදහා දේශ්පාලඥයින් මෙන්ම කලාකරුවන් සහ විද්වතුන් රැසක් ද සහභාගී විය. මෙහිදී අනෙක් කලාකරුවන් මෙන්ම රජිත හිරාන් මහතා (පිං පොං)ද අමුත්තන්ගේ පොතේ සිය සටහන තබද්දී ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වනු නිරීක්ෂණය කළෙමි. තවද එහිදී කැස්බෑව ආසන සංවිධායක ලෙස රජිත හිරාන් මහතා (පිං පොං) පත්කර ඇති බවට සාවද්‍ය ප්‍රවෘත්තියක්ද පළවී තිබෙනු නිරීක්ෂණය කළෙමි. මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ, අසත්‍ය ප්රවෘත්තියකි.
මෙවැනි ව්‍යාජ ප්රවෘත්ති පළ කිරීම ගැන තමා අතිශය කණගාටුවන බවත් මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවන, ශක්තිය ලබාදෙන කලාකරුවන්, මෙන්ම ජනප්‍රිය පුද්ගලයින් අධෛර්යට පත්කිරීමට ගන්නා ලද පහත් උත්සාහයක් ලෙස මා දකිමි.”