විවෘත කිරීමටත් පෙර වසා දැමුණු පිළිකා රෝහලේ වාට්ටුව

By Sithumi Oct 02, 2022 12:54 PM GMT
Sithumi

Sithumi

Report

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශයේ ළමා වාට්ටුව මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. මීට වසර එකහමාරකට පමණ පෙර මෙම ළමා වාට්ටුවේ ඉදිකිරීම් සම්පූර්ණ කර තිබූ අතර එය විවෘත නොකරම වසා දැමීමට මේ වන විට පියවර ගෙන තිබෙන බව කරාපිටිය රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ වන විටත් වාට්ටුවේ ප්‍රතිකාර සදහා ළමා පිළිකා රෝගීන් 250 ක් ලියාපදිංචි වී සිටි බවද ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. කරාපිටිය රෝහලේ මෙම වාට්ටුව ඉදිකර ඇත්තේ එකවර රෝගී දරුවන් දසදෙනකුට අංග සම්පූර්ණ ආකාරයෙන් නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට හැකිවන පරිද්දෙනි. මෙම වාට්ටුව ‘කිමෝතෙරපි’ සහ ‘රේඩියෝ තෙරපි’ යන නවීන ප්‍රතිකාර පහසුකම්වලින්ද සමන්විතව ඉදිකර තිබේ.

වාට්ටුව විවෘත කිරීමට කටයුතු නොකිරීමෙන් මෙම වටිනා උපකරණද විනාශ වී යන තත්ත්වයක් උදා වී ඇති බව ගාල්ල, කරාපිටිය රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. මහරගම අපේක්ෂා රෝහලේ හැරුණු විට ළමා පිළිකා රෝගීන් සදහා වාට්ටුවක් ඉදිකර ඇත්තේ ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණි. දකුණු පළාත හැරුණ විට බදුල්ල, වැල්ලවාය, ඇල්ල, මොණරාගල, අම්පාර, මඩකලපුව වැනි දිස්ත්‍රික්ක වලද රෝගීන් විශාල පිරිසක් ප්‍රතිකාර සදහා පැමිණෙන්නේද කරාපිටිය රෝහලටය.

මොවුන් අතර සිටින ළමා පිළිකා රෝගීන්ට මහරගම අපේක්ෂා රෝහලට යෑමට සිදුවීම එම දරුවන්ගේ දෙමාපියන් මෙන්ම රෝගී දරුවන්ද දැඩි අපහසුතාවයකට සහ අවදානමකට ලක්කර තිබේ. මෙම වාට්ටුවට ළමා පිළිකා පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙක්, ජේ‍ෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනෙක්, පුහුණු හෙද කාර්ය මණ්ඩලයක් සහ කනිෂ්ඨ සේවකයන් දෙදෙනකුගෙන් ද යුත් කාර්ය මණ්ඩලයක්ද ඇතුලත් කිරිමට නිරිදේශ කර තිබූ බවද කරාපිටිය රෝහල කියයි.

එයට අමතරව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ කරාපිටිය ශාඛාව, මෙම වාට්ටුවේ ප්‍රතිකාර ලබන දරුවන් සඳහා පිටතින් ඖෂධ ලබාදීමටද දිනපතාම ආහාරපාන හා දරුවන්ගේ පෝෂණය සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මාසික දීමානවක් ලබාදීමටද සැලසුම්කර තිබුණි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමය ගාල්ල, කරාපිටිය රෝහලෙන් විමසීමක්ද කර තිබේ. 

පිළිකා සංගමයේ ගාල්ල, කරාපිටිය ශාඛාවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ලංකාවටම සිටින්නේ පිළිකා රෝගී විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනෙක් පමණක් බැවින් මෙම වාට්ටුව විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බව සෞඛ්‍යය අමාත්‍යාංශය සදහන් කරන බවයි. නවීන පහසුකම් වලින්ද සමන්විත මෙම ළමා පිළිකා වාට්ටුව විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දකුණු පළාත ප්‍රමුඛ තදාසන්න ප්‍රදේශවල පිළිකා රෝගී දරුවන්ගේ දෙමාපියන් සෞඛ්‍යය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.