වසන්ත කරන්නාගොඩට සහ යෝෂිත රාජපක්ෂට අධිචෝදනා භාරදෙයි
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදී තිබේ.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇති බව වාර්තා වේ.
2006 සැප්තැම්බර් 01 වැනිදා සිට 2007 ජුනි 08 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින්, යෝෂිත රාජපක්ෂ මහතාට බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ Royal Navy Young Officers Course පාඨමාලාව හැදෑරීමට අයුතු ලෙස අවස්ථාව සලසා දීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට වසන්ත කරන්නාගොඩ මහතාට චෝදනා එල්ල වී තිබේ.
එම ක්‍රියාව හරහා අයුතු ලාභයක් ලබාගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාටද චෝදනා ඉදිරිපත් කර ඇත.
මෙම නඩුවට අදාළ ඉදිරි නීතිමය කටයුතු කොළඹ මහාධිකරණය හමුවේ සිදුකිරීමට නියමිතය.