සිය කාලය අවසන් කර නික්මයාමට නියමිත අමෙරිකානු තානාපති ජූලි චන්ග් අගමැතිනිය හමුවෙයි
සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය අද (14) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. අග්‍රාමාත්‍යවරිය, ජූලි චන්ග් මහත්මියගේ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සඳහා කළ සේවය සහ දායකත්වය පිළිබඳව සිය කෘතඥතාව පළ කළාය.
එසේම, දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ හදිසි තත්ත්වයෙන් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපද රජය ලබා දුන් සහායද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළේය.
ජූලි චන්ග් මහත්මිය සිය ධූර කාලය තුළ ශ්‍රී ලංකා රජය ලබා දුන් සහයෝගය පිළිබඳව පැසසුමට ලක් කළ අතර, නව රජයටත් සිය කෘතඥතාව පළ කර, දෙරට අතර දිගුකාලීන හවුල්කාරිත්වය තහවුරු කළාය. මෙම හමුවේදී Fulbright ශිෂ්‍යත්ව වැඩසටහන සහ එක්සත් ජනපද සාම බලකා (Peace Corps) වැඩසටහන යටතේ දෙරටේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කරනු ලැබීය.
දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය සහ දිගුකාලීන සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කමද මෙම අවස්ථාවේදී විශේෂයෙන් පැසසුමට ලක් විය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Jayne Howell මහත්මිය, මහජන හා සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශක Menaka Nayyar මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපීය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා සහ අධ්‍යක්ෂ ප්‍රමුදිතා මනුසිංහ මහත්මියද සහභාගී වූහ.