B-2 යානාවල ඡායාරූප ගත් චීන ජාතිකයාට වැඩ වරදී
එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු දෙකක් සහ එහි අතිශය සංවේදී හමුදා උපකරණ ඡායාරූප ගත කළ බවට චෝදනා එල්ල වූ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව මිසූරි ප්‍රාන්ත නීතිපති කාර්යාලය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අත්අඩංගුවට පත් සැකකරු 35 හැවිරිදි කුයිලින් වූ (Qilin Wu) ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු 2023 වසරේදී ඇරිසෝනා – මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ නීතිවිරෝධී ලෙස එක්සත් ජනපදයට ඇතුළු වී ඇති බව අනාවරණය වී තිබේ.
එරට නීතිපති කාර්යාලය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, සැකකරු දෙසැම්බර් 2 වැනි දින මිසූරි ප්‍රාන්තයේ Whiteman ගුවන් හමුදා කඳවුර අසලදී අත්අඩංගුවට ගත් බවයි.
Whiteman ගුවන් හමුදා කඳවුර තුළ, එක්සත් ජනපද හමුදාවට අයත් B-2 ස්පිරිට් ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා බලඇණිය ස්ථාපිත කර ඇති අතර, න්‍යෂ්ටික හා ස්ටෙල්ත් හැකියාවන් හේතුවෙන් එම කලාපය අතිශය සංවේදී ආරක්ෂිත කලාපයක් ලෙස සැලකේ.
සැකකරු සතුව කඳවුර හා එහි හමුදා උපකරණ සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ 18ක් තිබී හමුවූ බවද වාර්තා වේ. එම ඡායාරූප අතරට B-2 ස්පිරිට් ස්ටෙල්ත් බෝම්බ හෙලන යානාද ඇතුළත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.