ජපාන-ශ්රී ලංකා මිත්රත්වයට වසර 75යි - නිල සංවත්සර ලාංඡනය නිර්මාණය කරන්න ඔබටත් අවස්ථාවක්
2027 වසරේදී ජපානය සහ ශ්රී ලංකාව අතර රාජ්ය තාන්ත්රික සබඳතා ආරම්භ කර වසර 75ක් සපිරීම නිමිත්තෙන්, ජපාන රජය විසින් විශේෂ ලාංඡනයක් (Logo) නිර්මාණය කිරීම සඳහා තරගයක් ප්රකාශයට පත් කර තිබේ.
ජපාන විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කරන පරිදි, දෙරට අතර දිගුකාලීන මිත්රත්වය සහ සහයෝගීතාව සංකේතවත් කරමින් මෙම සංවත්සරය වෙනුවෙන් සංවිධානය කෙරෙන නිල සැමරුම් වැඩසටහන් සඳහා ජයග්රාහී ලාංඡනය භාවිත කිරීමට නියමිතය. වයස් සීමාවකින් හෝ පදිංචි රට සම්බන්ධ සීමාවකින් තොරව ජපාන සහ ශ්රී ලාංකික පුරවැසියන්ට මෙම තරගය සඳහා ඉදිරිපත් විය හැකිය.
සිය නිර්මාණ 2026 නොවැම්බර් 13 වැනිදාට පෙර japansrilanka75@mofa.go.jp යන විද්යුත් තැපැල් ලිපිනයට යොමු කළ යුතු අතර, විද්යුත් තැපෑලේ විෂය ලෙස “Logo Entry” යන්න සඳහන් කළ යුතුය. ඉදිරිපත් කරන සෑම නිර්මාණයකම වර්ණ සහ කළු-සුදු අනුවාද දෙකම ඇතුළත් විය යුතුය. එමෙන්ම, නිර්මාණය පිළිබඳ වචන 80ක පමණ පැහැදිලි කිරීමක්ද වෙනම ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. නිර්මාණ JPEG, PDF හෝ EPS ගොනු ආකෘතියකින් ඉදිරිපත් කළ යුතු අතර, ගොනුවේ ප්රමාණය මෙගාබයිට් 3 නොඉක්මවිය යුතුය. එහි විභේදනය අවම වශයෙන් DPI 300ක් විය යුතු බවද සඳහන් කර තිබේ
. ප්රකාශන හිමිකම් සම්බන්ධ ගැටලු මතුවීම වැළැක්වීමේ අරමුණින්, ලාංඡන නිර්මාණය සඳහා ජනක කෘත්රිම බුද්ධි (Generative AI) තාක්ෂණය භාවිත කිරීම ජපාන විදේශ කටයුතු අමාත්යාංශය විසින් තහනම් කර ඇත.
සියලුම නිර්මාණ ස්වතන්ත්ර, මීට පෙර ප්රකාශයට පත් නොකළ නිර්මාණ විය යුතු අතර, වෙනත් පාර්ශ්වයන්ගේ ප්රකාශන හිමිකම් හෝ වෙළෙඳ ලකුණු අයිතිවාසිකම් උල්ලංඝනය නොකළ යුතුය.
තරගයේ ජයග්රාහී නිර්මාණය 2026 දෙසැම්බර් මස අග භාගයේදී පමණ ජපාන විදේශ කටයුතු අමාත්යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්රකාශයට පත් කිරීමට නියමිතය. කෙසේ වෙතත්, ජයග්රාහී නිර්මාණකරුට මුදල් ත්යාගයක්, සම්මානයක් හෝ වෙනත් කිසිදු වන්දියක් හිමි නොවන බව අමාත්යාංශය පැහැදිලි කර තිබේ.
තරග නියමයන්ට අනුව ඉදිරිපත් කරන ලද නිර්මාණවල ප්රකාශන හිමිකම සහ අනෙකුත් අදාළ අයිතිවාසිකම් ජපාන විදේශ කටයුතු අමාත්යාංශය වෙත පැවරෙනු ඇත.
තෝරාගනු ලබන ලාංඡනය, ජපානය සහ ශ්රී ලංකාව අතර රාජ්ය තාන්ත්රික සබඳතාවල 75 වැනි සංවත්සරයට අදාළ නිල උත්සව සහ සැමරුම් කටයුතු සඳහා භාවිත කිරීමට නියමිතය.