මුතුරාජවෙල රැකගැනීමට දැඩි පියවර- අනවසර ගොඩකිරීම්වලට තද නීති
ගම්පහ දිස්ත්‍රික් පරිසර අනුකමිටුව මුතුරාජවෙල වගුරුබිම ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇත. මුතුරාජවෙලට අයත් ඉඩම්වල අනවසර ඉඩම් ගොඩකිරීම් වැළැක්වීම, පස් කැපීම් හා එවැනි ක්‍රියාවලි මගින් සිදුවන පරිසර හානි මෙන්ම ආශ්‍රිත පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පසුගියදා (12) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මධ්‍යම පරිසර අධිකාරිය, මීගමුව මහනගර සභාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය ඇතුළු සම්බන්ධ ආයතනවල නීතිමය බලතල හා ප්‍රතිපාදන පිළිබඳව මෙහිදී විමසා බැලිණි.
අනවසර ඉදිකිරීම් හා ව්‍යාජ බලපත්‍ර ඉදිරිපත් කරමින් සිදුවන පරිසර හානි ක්‍රියාවන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් සිදු විය.
මුතුරාජවෙල වගුරුබිම ආරක්ෂාව සඳහා පවතින පනත්, ගැසට් නිවේදන හා නීතිමය ප්‍රතිපාදන තවදුරටත් ශක්තිමත් හා විධිමත් කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වූ අතර, ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කමත් අවධාරණය කෙරිණි.
මුතුරාජවෙල සංවේදී කලාපය ආරක්ෂා කිරීම පිළිබඳව කමිටු සාමාජිකයන්ගේ යෝජනාවක් ද පරිසර අමාත්‍යාංශය විසින් අනුකමිටුව වෙත යොමු කර තිබේ.
මෙම රැස්වීමට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ, ස්ටෙපනි ප්‍රනාන්දු, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා සමන්තා සේනානායක ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
මුතුරාජවෙල වගුරුබිම ශ්‍රී ලංකාවේ වැදගත් තෙත්බිම් පද්ධතියක් වන අතර, අනවසර ඉඩම් ගොඩකිරීම් හේතුවෙන් එහි පරිසර හානි තීව්‍ර වී ඇති බවත්, මෙම රැස්වීම මගින් එය වළක්වා ගැනීමට බලවත් පියවර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය වී ඇත.