අමෙරිකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් ඩාර්චියෙව් මොස්කව්හිදී හදිසියේ ජීවිතක්ෂයට - රුසියානු විදේශ අමාත්‍යාංශයෙන් නිල නිවේදනයක්
අමෙරිකාවේ රුසියානු තානාපතිවරයා ලෙස කටයුතු කළ ඇලෙක්සැන්ඩර් ඩාර්චියෙව් මොස්කව්හිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මරියා සකාරෝවා සඳහන් කර ඇත්තේ, හෙළි නොකළ නිදන්ගත රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.
ඩාර්චියෙව්ගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය ඔහු විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ පළපුරුදු නායකයෙකු ලෙස හඳුන්වා දී තිබේ.
2025 මාර්තු මාසයේ සිට අමෙරිකාවේ රුසියානු තානාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු, 2014 සිට 2021 දක්වා කැනඩාවේ රුසියානු තානාපතිවරයා ලෙසද සේවය කර ඇත.
රුසියාව සහ අමෙරිකාව අතර සබඳතා පිළිබඳ විශේෂඥයෙකු වූ ඩාර්චියෙව්, 2021 සිට 2024 දක්වා රුසියානු විදේශ අමාත්‍යාංශයේ උතුරු අමෙරිකානු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කළේය.
2022 වසරේදී රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා මෙහෙයුම් ආරම්භ කළ අවස්ථාවේදී එය “අවශ්‍ය පියවරක්” ලෙස ඔහු හඳුන්වා දී තිබුණි.
පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී
එමෙන්ම, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි බලයට පත්වීමෙන් පසු 2025 පෙබරවාරි මාසයේ ඉස්තාන්බුල්හි පැවති රුසියානු සහ අමෙරිකානු නියෝජිතයන් අතර සාකච්ඡාවලට සහභාගී වූ රුසියානු දූත පිරිසට නායකත්වය ලබාදී ඇත්තේද ඩාර්චියෙව් විසිනි.
මේ අතර, මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නිත්‍ය නියෝජිතවරයා ලෙස කටයුතු කළ විටාලි චුර්කින්ද 2017 පෙබරවාරි මාසයේදී නිව්යෝර්ක්හිදී හදිසියේ මියගියේය. මියයන විට 64 හැවිරිදි වියේ පසුවූ චුර්කින් 2006 වසරේ සිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රුසියානු නියෝජිතවරයා ලෙස කටයුතු කර තිබුණි.
එවකට රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ඔහු විශිෂ්ට විශේෂඥයෙකු සහ ජනතාවට සමීප රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස හඳුන්වා දී තිබුණි.
ඩාර්චියෙව්ගේ අවසන් කටයුතු සිදුකරන දිනය සහ ස්ථානය පිළිබඳව මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පසුව ප්‍රකාශයට පත් කරන බව මරියා සකාරෝවා සඳහන් කර තිබේ.