ණය ගැනීම දැන් නැවතිය යුතුයි - හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
හිටපු මහ බැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කලේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ හා ව්‍යුහාත්මක වෙනස්කම් සිදුනොකර එය අත්හිටවනු ලැබුවහොත් මෙරටට දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇති බවයි.
අද (24) ඔහු මේ බව කියාසිටියේ අන්තර්ජාලය ඔස්සේ පැවති සමුළුවකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා,
"පූර්ව ක්‍රියාකාරකම් ලෙස අප බොහෝ දේ කර ඇති නමුත් පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛන අනුව දැඩි ව්‍යුහාත්මක වෙනස්කම් සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඇතුළු තව බොහෝ දේ කළයුතු බව පෙනීයනවා. මේ නිසා අප ලේසර් කිරණයක් මෙන් ඒ පිළිබඳ අවධානය යොමුකර ඒවා ක්‍රියාවට නංවමින් මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉදිරියට යා යුතුයි. යම් හෙයකින් මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අත්හිටවනු ලැබුවහොත් දරුණු ප්‍රතිවිපාක අත්විය හැකියි."
"සමහර අය කියනවා අපි IMF වැඩසටහන් 15ක් 16ක් ලබාගත්තත් ඒ සියල්ල අසාර්ථක වූ බව. ඒ බොහෝ අවස්ථාවල ඒ සඳහා ගැටලුව වුණේ ශ්‍රී ලංකා බලධාරීන්ගේ පාර්ශ්වයෙන් වැඩසටහන් කොන්දේසි නිසි ලෙස ක්‍රියාත්මක කළ නැති නිසයි. අපිට තිරසාර ලෙස මෙම අර්බුදයෙන් මිදීමට නම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකර ආර්ථිකයේ වර්ධනීය රාමුව ශක්තිමත් කළ යුතුයි. මෙවර අප එය සිදු නොකළහොත් ආර්ජන්ටිනාව, සිම්බාබ්වේ හෝ ලෙබනනය වැනි රටවල් අද මුහුණ පා ඇති තත්ත්වයට පත්විය හැකියි."
මේ අතර පවතින ආර්ථික අර්බුදයෙන් මීදිමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබාගැනීම සිදුනොකළ යුතු අතර චීන ව්‍යාපෘති සඳහා ඔවුන්ගේ ප්‍රාග්ධනය යෙදවීම සිදුකළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
"චීනයෙන් මෙවර අපිට අවශ්‍යවන්නේ ණය නොව ඔවුන්ට සුලබව පවතින ප්‍රාග්ධනය මෙහි යෙදවීමයි. ඔවුන්ට එලෙස ප්‍රාග්ධනය යෙදවීම චීන ණය මගින් මෙහි ගොඩනගන ලද යටිතල පහසුකම් හරහා සිදුකළ හැකියි. හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය වැනි චීනය මෙහි ගොඩනැගූ යටිතල පහසුකම්වල වාසිය ලබමින් මෙහි ආයෝජන සිදුකරන්නේ නම් එයද ඉදිරි ආර්ථික වර්ධන මූලාශ්‍රයක් වනු ඇති."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
