කොරෝනාවට එරෙහි දෙමුහුම් ප්‍රතිශක්තිකරණයක් ගැන පරීක්ෂණයකින් හෙළි වේ

covid19 vaccination immunity Chandima Jeewandhara
By Sewvandhi Oct 16, 2021 08:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකුට එන්නත්කරණයෙන් දෙමුහුන් ප්‍රතිශක්තියක් ඇතිවන බව නව අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබෙනවා. එමෙන්ම මෙරට සයිනොෆාම් කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලැබූ සංඛ්‍යාවද ඊයේ කෝටිය ඉක්මවූවා. පාසල් ළමයින් සඳහා සිදු කෙරෙන එන්නත්කරණ වැඩසටහනද සාර්ථකව ක්‍රියාත්මකයි.

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ට කොරෝනා එන්නත් ලබාදීමේදී දෙගුණයකින් ඉහළ, එනම් දෙමුහුන් ප්‍රතිශක්තියක් ජනනය වන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එහි ප්‍රතිඵල ස්වභාව විද්‍යා සඟරාවේ නවතම කලාපයේ පළ කර ඇති බව සඳහන්. ඒ අනුව කොරෝනා ආසාදනය වී සුවය ලබා එන්නත්කරණයට ලක්වන පුද්ගලයන්ට එහිදී ඇතිවන්නේ සුපිරි ප්‍රතිශක්තියක් බවයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එලෙස කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයෙකු ලබන පළමු එන්නත ආසාදනය නොවූ පුද්ගලයෙකුට ලබාදෙන දෙවන මාත්‍රාව ලෙස සැළකිය හැකියි. එමෙන්ම ආසාදිත පුද්ගලයෙකු ලබන දෙවන මාත්‍රාව බූස්ටර් නැත්නම් වර්ධක එන්නත් මාත්‍රාවක් ලෙස සැළකිය හැකි බවයි අධ්‍යයනයෙන් අනාවරණ වී ඇත්තේ.

මෙම අධ්‍යයනයේ ප්‍රතිඵලවලට අනුව කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකුට වුවද එන්නත්කරණයෙන් ඉහළ රැකවරණයක් හිමිවන බව තහවුරු වන්නේ යැයි ආචාර්ය චන්දිම ජීවන්දර අවධාරණය කළා. මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් 73,807 දෙනෙකුට ඊයේ එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 5937 දෙනෙකුටත්, දෙවන මාත්‍රාව පුද්ගලයින් 45,396කට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 14,280කට ලබා දී ඇති අතර, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 7161 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 628 දෙනෙකුට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්තේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 405 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ. මේ අතර සයිනොෆාම් කොරෝනා එන්නත් මාත්‍රා දෙකම මෙරට පුද්ගලයින් කෝටියකට ඊයේ පස්වරුව වනවිට ලබාදී අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

මේ අතර 2001 වසරේ ඔක්තෝම්බර් 16 සිට 2003 වසරේ ඔක්තෝම්බර් 15 දක්වා උපත ලද බස්නාහිර පළාතේ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කොළඹ පාසල් 28ක සිසුන් එන්නත්කරණයට ලක්කිරීමට නියමිතයි.

රජයේ පාසල් 14ක් සහ ජාත්‍යන්තර පාසල් 14ක සිසුන්ට මෙලෙස එන්නත් ලබා දීමට කටයුතු කර ඇති අතර, එන්නත් ලබාදීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 4,000ක් පමණ වන බව සඳහන්. පාසල් ළමයින් එන්නත්කරණය කිරීමේ වැඩසටහන යටතේ මේ වනවිට ළමයින් 6,000කට වැඩි සංඛ්‍යාවකට එන්නත් ලබාදී ඇති අතර, ඒ කිසිවෙකුට හෝ දරුණු අතුරු ආබාධයක් ඇති වී නොමැති ළමා රෝග විශේෂඥයින්ගේ විද්වත් සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් කියා සිටියා.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.