කොටිකම්බොක්ක අනවසර තිරුවානා කැණීම් ගැන ගත් දැඩි තීන්දුව
මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි, දැනට කැණීම් කටයුතු සිදු නොවන කොටිකම්බොක්ක ධමනි තිරුවානා නිධිය නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (01) එක්ව ඇත.
එම අවස්ථාව සඳහා මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි මහත්මිය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ආචාර්ය එස්.පී චමින්ද, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහේශ් අබේසේකර මහතා, භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යංශයේ සභාපති ජේ.එම්.එස්.එන්.ජයසිංහ මහතා, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපති මහාචාර්ය ජී.ඩබ්ලිව්.ඒ. රොහාන් ප්‍රනාන්දු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව ඇති බව වාර්තා වේ.
එහිදී එම නිධියේ අනවර කැණීම් නැවැත්වීමට සහ එම නිධිය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව පියවර කිහිපයකට එළැඹ තිබේ.
මූලික විද්‍යාත්මක ගවේෂණයන්ට අනුව මීටර් 700ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම නිධිය තුළ, මෙට්‍රික් ටොන් බිලියන 3.1ක අතිවිශාල තිරුවානා සංචිතයක් පවතින බවට හඳුනාගෙන තිබේ .
ඒ අනුව ක්ෂේත්‍ර නිරීක්ෂණයෙන් අනතුරුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී පහත සඳහන් තීරණවලට එළැඹ තිබෙන බව සදහන් වේ.
නිධිය ආරක්ෂා කිරීම
අනවසර කැණීම්කරුවන්ගෙන් මෙම ස්වභාවික සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කිරීම.
සීමා නීර්ණය හා වාර්තාකරණය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිධිය පිහිටි ප්‍රදේශයේ සීමා සලකුණු කිරීම සහ රාජකාරි කටයුතු වලදී මතුවන බාධාවන් පිළිබඳ පූර්ණ වාර්තාවක් ප්‍රාදේශීය ලේකම්වරිය වෙත කඩිනමින් යොමු කර තිබේ .
සංචිතය යළි ගණනය කිරීම
නිධියේ පවතින සංචිත ප්‍රමාණය වඩාත් නිවැරදි හා නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ යළි ගණනය කිරීමට පියවර ගැනීම.
විනිවිදභාවයෙන් යුත් කැණීම් ක්‍රියාවලිය
පවතින නීතිමය හා පාරිසරික ගැටලු නිරාකරණය කිරීමෙන් අනතුරුව, විධිමත් කැණීම් කටයුතු සඳහා කඩිනමින් අභිලාෂයන් කැඳවීමට කටයුතු කිරීම.