"තෙවරක් යක්ෂයා දුටුවා, නිරයේ දොරටුත් පෙනුණා" - පාප් වහන්සේගේ දිනපොතේ ඇති හොල්මන් කරන සටහන් මෙන්න
ස්වර්ගස්ථ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය ජීවිත කාලය තුළ අවස්ථා තුනකදී යක්ෂයා දුටු බවත්, එක් අවස්ථාවක නිරයේ දොරටු දුටු බවත් සිය පෞද්ගලික දිනපොතේ සටහන් කර ඇති බව අනාවරණය වී තිබේ.
උන්වහන්සේගේ ජීවිතයේ මෙතෙක් හෙළි නොවූ පෞද්ගලික හා ආධ්‍යාත්මික අත්දැකීම් රැසක් ඇතුළත් මෙම දිනපොත, The Private Diary of Pope Francis නමින් කෘතියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
1992 සිට 2024 දක්වා කාලය තුළ ලියන ලද සටහන් ඇතුළත් පිටු 160කින් සමන්විත මෙම කෘතිය කාදිනල් වික්ටර් මැනුවෙල් ෆර්නැන්ඩස් විසින් සංස්කරණය කර තිබේ. එය භාෂා පහකින් රටවල් 94ක ප්‍රකාශයට පත් කර ඇති අතර, ඉංග්‍රීසි සංස්කරණය අමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ පෙන්ගුයින් රැන්ඩම් හවුස් ප්‍රකාශන ආයතනය විසින් නිකුත් කර ඇත.
දිනපොතේ සඳහන් වන පරිදි, බුවනෝස් අයර්ස් අගරදගුරු ධුරය දැරූ සමයේ අවස්ථා තුනකදී තමන් යක්ෂයා දුටු බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සටහන් කර තිබේ.

වසර 15කට පමණ පෙර මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එහි කවුළුවෙන් යක්ෂයා දුටු බවත්, තවත් අවස්ථාවක කර්මෙලයිට් දේවස්ථානයකදී ගිනි දැල්වෙන දෑසින් යක්ෂයා තමන් දෙස බලා සිටි බවත් උන්වහන්සේ සඳහන් කර ඇත. තුන්වැනි අවස්ථාව රෝමයේදී සිදුවූ අතර, එහිදී යක්ෂයා දුටුවා පමණක් නොව ඔහුගේ හඬ ද ඇසුණු බව දිනපොතේ දැක්වේ.
එමෙන්ම, 2018 ජූනි 7 වැනිදා තැබූ සටහනක ඊට පෙර රාත්‍රියේ තමන් නිරයේ දොරටු දුටු බව ද උන්වහන්සේ සඳහන් කර තිබේ. 2021 ජනවාරි 24 වැනිදා ලියූ සටහනක යක්ෂයා නිර්භීතව හා කපටි ලෙස සැරිසරන බව ද පවසා ඇති අතර, එවැනි අත්දැකීම්වලින් මිදීමට දෙවියන් වහන්සේ තමන්ට උපකාර කළ බව ද සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, මෙම කෘතියෙන් අනාවරණය වන්නේ යක්ෂයා පිළිබඳ අත්දැකීම් පමණක් නොවේ. තමන් මුහුණ දුන් බිය, පසුතැවීම්, ස්වයං විවේචන, සෞඛ්‍ය ගැටලු සහ ආධ්‍යාත්මික අරගල පිළිබඳව ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අවංකව සටහන් කර තිබේ.
විශේෂයෙන්ම 2021 සිට 2022 දක්වා කාලය තුළ තමන් දැඩි ආධ්‍යාත්මික අර්බුදයකට මුහුණ දුන් බව ද දිනපොතේ සඳහන්ය. එම කාලය තුළ දෙවියන් වහන්සේ කෙරෙහි වූ විශ්වාසය සහ යාච්ඤාව තුළින් ශක්තිය ලබාගත් ආකාරය ද උන්වහන්සේ විස්තර කර ඇත.
ජපමාලය තුළින් ආධ්‍යාත්මික ශක්තිය ලබාගැනීම මෙන්ම ශාන්ත තෙරේසා ද ලිසියු, ශාන්ත ජෝසප් සහ මරියතුමිය කෙරෙහි පැවති භක්තිය පිළිබඳ සටහන් ද මෙම කෘතියට ඇතුළත් වේ.
මෙම ආධ්‍යාත්මික අත්දැකීම්වල බලපෑමෙන් 2023 වසරේ නිකුත් කළ C’est la confiance සහ 2024 වසරේ නිකුත් කළ Dilexit nos යන ලේඛන බිහි වූ බව කෘතියේ සංස්කාරක කාදිනල් ෆර්නැන්ඩස් පෙන්වා දෙයි.
එමෙන්ම, 2023 වසරේ පෘතුගාලයේ ෆාතිමා දේවමාතාවන්ගේ සිද්ධස්ථානයට ගිය අවස්ථාවේ නිහඬව යාච්ඤාවේ නිරත වූ ආකාරය පිළිබඳව ද පාප් වහන්සේ සිය දිනපොතේ සටහන් කර තිබේ.
කාදිනල් ෆර්නැන්ඩස් පවසන්නේ මෙම පෞද්ගලික සටහන් ලෝකයට හෙළි කිරීමේ වගකීම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් තමන්ට භාරදුන් බවයි. ඒ අනුව, පාප් වහන්සේගේ බිය, ආධ්‍යාත්මික අරගල සහ දෙවියන් වහන්සේ කෙරෙහි වූ විශ්වාසය පිළිබඳ මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් මෙම කෘතිය හරහා අනාවරණය වී තිබේ.