හොන්ඩා සහ ටොයෝටා වාහන වල දරුණු ගැටලුවක් - දෝෂ හේතුවෙන් වාහන ආපසු කැඳවීමට නිවේදනය
ජපානයේ මෝටර් රථ නිෂ්පාදකයින් වන Honda සහ Toyota සමාගම්, එක්සත් ජනපදය තුළ වාහන මිලියන 1.6ක් පමණ ආපසු කැඳවීමට (recalls) පියවර ගෙන ඇත.
ඊට හේතුව වී ඇත්තේ, Takata වර්ගයේ වායු බෑග් (airbags) ක්‍රියාත්මක කරන උපාංගවල (inflators) පවතින දෝෂයක් හේතුවෙන් ඒවා පුපුරා ගොස් බරපතල තුවාල සිදුවිය හැකි බවට මතුව ඇති අවදානමයි.
සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි
විදෙස් පුවත් සේවයට අනුව, ඇතැම් මෝටර් රථ, SUV රථ සහ ට්‍රක් රථවල සවි කර ඇති මෙම වායු බෑග් ක්‍රියාත්මක කරන උපාංග අක්‍රිය විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් වීමෙන් අනතුරුව, පසුගිය සිකුරාදා (20) මෙම වාහන ආපසු කැඳවීම නිවේදනය කෙරිණි.
එක්සත් ජනපද ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය (NHTSA) පවසන පරිදි, වායු බෑග් ක්‍රියාත්මක වන අවස්ථාවේදී මෙම උපාංග පුපුරා යා හැකි අතර, එමගින් තියුණු ලෝහ කැබලි වාහනය තුළට විසි වී රියදුරුට සහ මගීන්ට තුවාල සිදුවිය හැකිය.
Honda සමාගම විසින් Honda සහ Acura මාදිලියේ වාහන 810,592ක් පමණ ආපසු කැඳවනු ලබන අතර, Toyota සමාගම විසින් Toyota සහ Lexus මාදිලි කිහිපයක් ඇතුළුව වාහන රැසක් ආපසු කැඳවන බව නිවේදනය කර ඇත.
මෙම ආරක්ෂක ගැටලුවට හේතුව Takata වායු බෑග් ක්‍රියාත්මක කරන උපාංගවල අඩංගු රසායනික ද්‍රව්‍යය (propellant) කාලයත් සමඟ පිරිහීමයි. අධික තාපය සහ ආර්ද්‍රතාවයට දිගු කලක් නිරාවරණය වීම හේතුවෙන් මෙම රසායනික ද්‍රව්‍යය අස්ථාවර තත්ත්වයට පත්විය හැකිය.
මෙම නවතම වාහන ආපසු කැඳවීම්, Takata වායු බෑග් සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ පවතින ගෝලීය ආරක්ෂක ගැටලුවක කොටසකි. පසුගිය දශකය තුළ, Takata වායු බෑග් ක්‍රියාත්මක කරන උපාංග සවි කර ඇති වාහන මිලියන 100කට අධික සංඛ්‍යාවක් ලොව පුරා ආපසු කැඳවා ඇති අතර, ඉන් වාහන මිලියන 67ක් පමණ එක්සත් ජනපදයට අයත් වේ.
නිෂ්පාදකයින් පවසන පරිදි, මෙම නවතම ආපසු කැඳවීම්වලට අදාළ වාහන සම්බන්ධයෙන් කිසිදු අනතුරක්, තුවාල වීමක් හෝ වායු බෑග් පුපුරා යාමක් වාර්තා වී නොමැත. අදාළ දෝෂ සහිත උපාංග ප්‍රතිස්ථාපනය කිරීමට (නව උපාංග මගින් මාරු කිරීමට) කටයුතු කරන බව එම සමාගම් ප්‍රකාශ කළේය.
Honda සමාගම ආපසු කැඳවන වාහන අතරට 2012 සහ 2013 වසර අතර නිෂ්පාදිත Accord, Civic, CR-V, Acura ILX සහ Acura RDX මාදිලිවල ඇතැම් වාහන ඇතුළත් වේ.
Toyota සමාගම ආපසු කැඳවන වාහන අතරට Corolla, Tundra, Sequoia සහ 4Runner මාදිලිවල ඇතැම් වාහන මෙන්ම, තෝරාගත් Lexus මාදිලියේ වාහන ද ඇතුළත් වේ.
Toyota සමාගමේ මෙම පියවර මගින් ලොව පුරා වාහන 790,000ක් පමණ ආවරණය වන අතර, ඉන් වාහන 314,000ක් එක්සත් ජනපදයේ පවතී. ප්‍රතිස්ථාපනය සඳහා අවශ්‍ය නව උපාංග 2027 වසරේ මුල් භාගය වන විට ලබා ගත හැකි වනු ඇතැයි එම සමාගම අපේක්ෂා කරයි.