අධික වර්ෂාවෙන් දඹුල්ලේ සිහිනය බිඳ වැටෙයි - ජැෆ්නා කිංග්ස් අවසන් තරග වටයට
2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Playoffs වටයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වූයේ දඹුල්ල සික්සර්ස් සමඟ පැවති ලීග් තරගය අධික වර්ෂාව හේතුවෙන් අතරමග අත්හැර දැමීමත් සමඟය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ප්‍රතිඵලයක් නොලැබුණු බැවින් කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් ප්‍රදානය කෙරිණි. එම ලකුණ ජැෆ්නා කිංග්ස්ට Playoffs වටයට පිවිසීමට ප්‍රමාණවත් වූ අතර, දඹුල්ල සික්සර්ස්ගේ අවසන් සිව්දෙනා අතරට පිවිසීමේ බලාපොරොත්තු එමඟින් නිමාවට පත් විය.
ඒ අනුව ගාල්ල ගැලන්ට්ස්, ජැෆ්නා කිංග්ස්, කොළඹ කැප්ස් සහ මහනුවර රෝයල්ස් යන කණ්ඩායම් Playoffs වටය සඳහා නිල වශයෙන් සුදුසුකම් තහවුරු කළහ.
කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කිංග්ස් පළමුව පන්දු යැවීමට තීරණය කිරීමෙන් අනතුරුව පිටියට පිවිසි දඹුල්ල සික්සර්ස් කඩුලු 8ක් දැවී ලකුණු 203ක් රැස් කළේය.
එහිදී පවන් රත්නායක පන්දු 28කින් ලකුණු 47ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් පන්දු 24කින් ලකුණු 44ක් ලබා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දුන්නේය.
ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් ඩිල්ෂාන් මධුශංක ලකුණු 32කට කඩුලු 3ක් දවාගත් අතර, දුනිත් වෙල්ලාලගේ සහ ලිසාඩ් විලියම්ස් කඩුලු දෙක බැගින් බිඳ හෙළූහ. කෙසේ වෙතත්, ජැෆ්නා කිංග්ස්ගේ පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පෙර ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, අවසානයේ විනිසුරුවන් තරගය අතහැර දැමීමට තීරණය කළහ.