සෞඛ්‍ය සේවකයින් ඇඟිලි සලකුණු ප්‍රතික්ෂේප කළේ ඇයි? - කෝප් කමිටුවේදී හෙළි වූ ඇත්ත.

Sri Lanka Ministry of Health Sri Lanka Cope Committee Sri Lanka
By Wayomi Nov 16, 2023 11:54 AM GMT
Wayomi

Wayomi

Report

සෞඛ්‍ය සේවකයින් ඇඟිලි සලකුණු තබා සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කරන බව අනාවරණය වී තිබෙනවා..

ඒ, රෝහල් කළමනාකරණය හා කාර්යමණ්ඩල කළමනාකරණ පිළිබඳ ඉතිරි විගණන ජේද පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා වූ අනු කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙම අනු කාරක සභාව පවත්වනු ලැබුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ ගේ සභාපතිත්වයෙන්.

රජයේ සියලුම ආයතන, ඇඟිලි සලකුණු යන්ත්‍ර ඔස්සේ කාර්යමණ්ඩල පැමිණීම හා පිටවීම සනාථ කරන ලෙස 2017 වසරේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 31.08ක් වැය කරමින් ස්ථාපිත කර තිබුණු ඇඟිලි සලකුණු යන්ත්‍ර 213 භාවිතයට නොගෙන නිෂ්ක්‍රීය මට්ටමේ පැවතීම පිළිබඳව අනුකාරක සභාව ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී සභාපතිවරයා විමසා සිටියේ, සෞඛ්‍ය සේවකයන් ඇඟිලි සලකුණු තබා සේවයට පැමිණීම ප්‍රතික්ෂේප කරනුයේ කුමන හේතුවක් මතද යන්නයි.

ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, කියා සිටියේ, සේවකයින්ගේ විරුද්ධත්වය හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බවත් නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමට සැලසුම් කර ඇති බවත්ය.

පොදු ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා දුෂණවලින් තොර සේවාවක් බවට පත්කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් සෞඛ්‍ය සේවයද එක්විය යුතු බවයි සභාපතිවරයා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ඒ යටතේ පවතින රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතන සතු ඉඩම්වල හිමිකම් ඔප්පු, මිනින්දෝරු සැලසුම්, තක්සේරු කිරීම්වල ගැටලු පිළිබඳව මෙන්ම අතරමග නවතා දමා ඇති ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන්ද අනුකාරක සභාව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී සුදානමකින් තොරව අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා අනුකාරක සභාව හමුවේ පෙනීසිටි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට අනුකාරක සභාවේ දැඩි අප්‍රසාදය හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

ReeCha