දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය ගැන සෞඛ්‍ය අංශ වෙතින් පැහැදිලි කිරීමක්
කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආශ්‍රිතව වාර්තා වන උණ රෝගය වෛරස් තත්ත්වයක් ලෙස හදුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සදහන් කර තිබේ.
ඔහු පවසන්නේ ගත වූ මාසයේදී මෙම වෛරසය ආසාදිත රෝගීන් 47 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
එතුමා තව දුරටත් සදහන් කළේ උණ, තද හිසරදය, වමනය මෙම වෛරසයේ රෝග ලක්ෂණ වන අතර පාසල් යන වයසේ පසුවන අවුරුදු 14ත් 15ත් අතර ළමුන් අතර මෙය වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති බවයි.
වෛරසය ආසාදනයවූවන් දෙනියාය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර ඔවුන්ගෙන් බොහෝමයක් දෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන බවත් විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සදහන් කරයි.
මෙම රෝගයේ පැතිරයාම මේ වනවිට පාලනය කර තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඔහු මෙහිදී අවධාරණය කර තිබෙනුයේ ඒ වගේම අපිරිසිදු ජලය මගින් හෝ ආහාර මගින් මෙම වෛරසය පැතිරී ඇති බවත් විශේෂයෙන්ම අදාළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට උණුකර නිවාගත් ජලය පානය කරන ලෙසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්
''මෙම රෝගය මෙනින්ජයිටිස් වෛරස් එකක් විදිහට හඳුනාගෙන තියෙනවා.. මේ රෝගයේ රෝග ලක්ෂණ වෙන්නේ උණ, තද හිසරදය වමනය වගේ රෝග ලක්ෂණ.. ඊයේ වෙනකොට රෝගීන් 47ක් විතර වාර්තා වෙලා තිබුණා.. මේ රෝගින් සියලුම දෙනාම දෙනියාය මූලික රෝහලෙන් තමා ප්‍රතිකාර ලබා තිබුණේ.. මේ අය බොහෝමයක් අවුරුදු 14, 15 වගේ වයස්වල ළමුන්.. ඔවුන් ප්‍රතිකාරවලින් පස්සේ සුවවෙලා නිවෙස්වෙත ගිහින් ඉන්නේ.. ඒ වගේම අපිට පේනවා මේ රෝගය පහුගිය දින 3,4ක කාලය තුළ යම් අඩු වීමක් වෙලා තියෙනවා.. ඒ වගේම ප්‍රතිකාර කිරීමත් එක්ක දවස් 6,7ක් වගේ යද්දී මේ ලෙඩේ සුව වෙනවා.. බොහෝ විට අපිරිසිදු වෙච්ච ජලයෙන් හරි ආහාරවලින් හරි තමා මේ වෛරස් එක පැතිරිලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඒ ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලනවා උණුකර නිවාගත් ජලය පානය කරන්න කියලා.. ඒ වගේම පිරිසිදු ආහාර ගන්න එකත් වැදගත්. ඒ වගේම මේ රෝග ලක්ෂණ තිබුණොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.. විශේෂයෙන්ම දෙණියාය ප්‍රදේශයෙන් විතරයි මේ රෝගීන් වාර්තා වෙන්නේ.. ඒ නිසා අනෙකුත් ප්‍රදේශවල ඉන්න අය බියට පත් වෙන්න ඕනේ නෑ.. රෝගය පැතිරයාමේ අවදානම අඩු වෙලා තියෙනවා.. ඒ නිසා බිය විය යුතු නෑ..''