මෙන්න මේ අයගේ රැකියා අනතුරේ
මෙරට නිසියාකාරව බීඩි නිෂ්පාදනය කරනු ලබන බදු ගෙවන කර්මාන්තකරුවන් දෙසීයක් පමණ විවිධ ගැටලු හේතුවෙන් බීඩි එතීමේ කටයුතු නතර කිරීම හෝ සීමා කිරීම නිසා බීඩි කර්මාන්තයේ නිරත ලක්ෂ පහකට ආසන්න පිරිසකගේ රැකියා අනතුරට ලක්ව ඇති බව සමස්ත ලංකා බීඩි, සුරුට්ටු නිෂ්පාදකයන්ගේ සහ බීඩි කොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.
මේ වන විට කර්මාන්ත කරුවෝ බීඩි සඳහා අයකරන බදු විධිමත් නොවීම සහ නීත්‍යනුකූල නොවන අයුරින් රට තුළට බීඩි කොළ ආනයනය කිරීම වැනි ගැටලුවලට මුහුණ පා සිටියි.
මේ හේතුව නිසා බීඩි එතුම්කරුවන්, බීඩිවල ලේබල් අලවන්නන්, බීඩි කර්මාන්තයේ නිරත කම්කරුවන් සහ දුම්කොළ ගොවීන් ඇතුළු පිරිසකගේ රැකියා අනතුරකට ලක්ව තිබේ.
බීඩි කොළයට දුම්කොළ දමා එතූ පසුව එය නිමි නිෂ්පාදනයක් බව සුරාබදු දෙපාර්තමේන්තුවෙන් පවසනු ලබයි.
නමුත් එම සංගමය පෙන්වා දෙනු ලබන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු අය කරනු ලබන්නේ බීඩි ඇසුරුම්කර වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් පසු බවත් නිමි බීඩියක් යනු කුමක්ද යන්න සම්බන්ධව නිසි විග්‍රහයක් නොතිබීම නිසා ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව තිබෙන බවයි.
තවද සංගමයේ නියෝජිතයෝ පෙන්වා දෙනු ලබන්නේ බීඩි නිෂ්පාදනය කර, ලේබල් ගසා බන්ඩල් කිරීමෙන් පසුව එය නිමි නිෂ්පාදනයක් වන බවද සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බදු අය කළ යුත්තේ එම නිමි නිෂ්පාදනයට මිස නිෂ්පාදනය කරමින් තිබෙන බීඩියට නොවන වග වේ.
ඒ වගේම බීඩි නිෂ්පාදනය කර ඒවා තේරීමට ලක් කිරීමේදී සියයට දහයක (10%) පමණ ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවන බවද එම නිසා වෙළෙඳපොළට නොයවන බීඩිවලට පවා සුරාබදු දෙපාර්තමේන්තුව බදු අයකරන බවද ඔවුහු පෙන්වා දී තිබේ .
මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නව බලපත්‍ර නිකුත් කරන ලද බීඩි නිෂ්පාදකයන් 600 ක් පමණ සිටින බවත් එම ව්‍යාපාරිකයන් සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමු නොකරන බවත් එම සංගමයේ සාමාජිකයෝ සදහන් කර ඇත.
තවද එම සංගමය තවදුරටත් පෙන්වා දෙනු ලබන්නේ මෙරටට අනීතිකව ආනයනය කරන ලද බීඩි කොළවලින් බීඩි නිෂ්පාදනය කර අඩු මිල ගණන්වලට වෙළෙඳපොළට ඇතැමුන් ලබාදීම නිසා නිසියාකාරව බදු ගෙවන බීඩි නිෂ්පාදකයන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවයි.
එම සංගමයේ සාමාජිකයෝ කියා සිටියේ මේ නිසා බදු ගෙවන බීඩි නිෂ්පාදකයන් රැසකට සිය නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කිරීමට හෝ සීමා කිරීමට සිදුව තිබෙන බවයි .
මේ වනවිට නිසියාකාරව බීඩි නිෂ්පාදනය කර බදු ගෙවන කර්මාන්තකරුවන් 200 ක් පමණ බීඩි එතීමේ කටයුතු තාවකාලිකව නතරකර හෝ සීමාකර ඇත.
සමස්ත ලංකා බීඩි, සුරුට්ටු නිෂ්පාදකයන්ගේ සහ බීඩි කොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරන්නේ බීඩි නිෂ්පාදනය කරන ඇතැම් ආයතන ද දැනට මාස දෙකක පමණ කාලයක සිට වසා තිබෙන බවයි.
බීඩි කර්මාන්තය බහුලව සිදු කෙරෙන කෑගල්ල, වරකාපොළ ආදී ප්‍රදේශවල පදිංචි ජනතාව බීඩි ඔතා අමතර ආදායමක් උපයා ගනිති.
මේ වනවිට බීඩි එතීමේ කටයුතු තාවකාලිකව නතර කිරීම නිසා ඔවුන්ට ලැබෙන දෛනික ආදායමද අහිමිවී තිබේ.