බලශක්ති අර්බුදය ගැන ජනාධිපති කාර්යාලයේ හදිසි සාකච්ඡාවක්

Report

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ගල්අඟුරු, ගෑස්, තෙල් ඇතුළු බලශක්ති සැපයුම් ජාලවලට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධාවන්ට මුහුණ දෙමින් අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීම සඳහා විවිධ අංශවලින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග හා යෝජිත විකල්ප පිළිබඳ සවිස්තර සමාලෝචනයක් සිදු කෙරිණි.

සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය:

නව තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ඩිජිටල් කේත ක්‍රමය,නිවසේ සිට රාජකාරි සිදුකිරීම වැනි විකල්ප ක්‍රමවේදයන් නිසි සැලසුමකින් යුතුව ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික ආර්ථිකයට එල්ල වන බලපෑම අවම කර ගැනීමට හැකි බවට එකඟතාවයක් ඇති විය.

මතුවන නව තත්ත්වයන් හා බලශක්ති සැපයුම් තත්ත්වයන් පිළිබඳ ජනතාවට නිරන්තර හා විධිමත් සන්නිවේදනයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් විශේෂයෙන් අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට බලශක්ති අමාත්‍යාංශය, ආර්ථික මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන හා මාර්ග අමාත්‍යාංශය ඇතුළු සම්බන්ධිත අංශවල ඉහළ නිලධාරීන් සහභාගී වූ බව වාර්තා වේ.