හජ්ජි උත්සවය අදයි..ජනපති,අගමැති සහ කථානායකගෙන් විශේෂ පණිවුඩයක්..
ඉස්ලාම් බැතිමතුන් ඉමහත් හරසරින් සමරනු ලබන, හජ් උත්සවය අදට (ජුනි 29) යෙදී තිබෙනවා.
ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි.
නබි තුමන්, තමන්ගේ පුත්‍රයා වන ඉස්මයිල් නබිතුමන්ව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම සංකේතවත් කරන හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙන්නේ සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන වාර්ෂික හජ් වන්දනාවයි.
ඉස්ලාම් ධර්මයේ පංච මහා වගකීම් අතරින් පස්වැන්න හජ් ඉටු කිරීමයි.
ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසය වන දුල්හජ් මාසයේ දහවන දිනයේදී හජ්ජි උත්සවය මෙලෙස ඉස්ලාම් බැතිමතුන් සමරනු ලබනවා.
මේ අතර, මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ, නව බලාපොරොත්තුවලින් පිරුණු අනාගතයක් සඳහා අප උත්සාහ කරන විට, මෙවර හජ් උත්සවයේ ආගමනය අතිශයින් වැදගත් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හජ්ජි උත්සවය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.
පූජනීය හජ් උත්සවය, තමාගේ දුෂ්කරතාවලින් සහනයක් අපේක්ෂා නොකර, දුගී දුප්පත් ජනතාවට විසඳුම් සෙවීමෙන් මානුෂීය ප්‍රයත්නවල යෙදීමෙන් ලබාගත් වටිනාකම් සහ ඉටුවීම මූර්තිමත් කරයි.
එය පරාර්ථකාමීත්වයේ සහ දයාවේ ආත්මයේ සාක්ෂියකි.
ඉබ්‍රාහිම් නබි, ඔහුගේ පුත් ඉස්මායිල් නබි සහ හගර් මාතාව කැපවීමේ සහ පරිත්‍යාගයේ සදාකාලික සංකේත ලෙස පෙනී සිටියි.
ශතවර්ෂ ගණනාවක් පුරා, ඔවුන් විශ්වීය ගෞරවයට පාත්‍ර වී ඇති අතර, ඔවුන්ගේ කැපකිරීම් කෘතවේදීත්වයේ සහ ප්‍රශංසනීය මූලාශ්‍රයකි.
මෑත කාලයේ ශ්‍රී ලංකාව තමන්ගේම විපත්තිවලට මුහුණ දී ඇත.
නමුත් අපේ පුරවැසියන්ගේ නොසැලෙන කැපවීම, පරිත්‍යාගය සහ ඉවසීම තුළින් තමයි මේ අභියෝගවලට මුහුණ දීලා වර්තමාන තත්ත්වයට පත් වුණේ.
හජ් උත්සවය එම කැපකිරීම් අනුස්මරණය කිරීමට සහ ගෞරවය දැක්වීමට සුදුසු අවස්ථාවකි.
දැනට මුහුණ දී සිටින ආර්ථික හා සමාජීය දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා සියලු දෙනාගේ සාමූහික උත්සාහය, මැදිහත්වීම් සහ සහභාගිත්වය ඉතා වැදගත් වේ.
එබැවින්, මෙම හජ් උත්සවයේදී අත්වැල් බැඳගෙන, අපගේ දේශීය, කලාපීය සහ ගෝලීය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පොදු අරමුණක් සඳහා එක්වන ලෙස මම සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට ආරාධනා කරමි.
අප මෙම ප්‍රීතිමත් හජ් උත්සවය සමරන මොහොතේ වත්මන් පරපුරට මෙන්ම වැඩිහිටි ජනතාවට ද අපගේ අනාගත සම වයසේ මිතුරන් වෙත දුෂ්කරතාවල බර නොදී සිටීමේ වැදගත්කම සිහිපත් කිරීමට කැමැත්තෙමි.
ඒ වෙනුවට, තිරසාර සතුට සහතික කරන අතරම ගෝලීය ප්‍රජාව විසින් ගරු කරන, අභිමානවත් ජාතියක් ලෙස ඔවුන්ව පෝෂණය කරමු.
මෙම හජ් උත්සවය සැමට, විශේෂයෙන්ම අපගේ ශ්‍රී ලාංකීය ඉස්ලාමීය සහෝදර සහෝදරියන්ට මෙන්ම ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන්ට සතුට හා ප්‍රීතියේ උල්පතක් වේවා!
මේ අතර, ආධ්‍යාත්මික වටිනාකම්වලින් ශ්‍රී ලාංකේය සමාජය තව තවත් පෝෂණය කොට පටු භේද අතැර සියලු දෙනාම මිත්‍රත්වයෙන් හා සහෝදරත්වයෙන් ජීවත්වීමට මේ හජ් උත්සවයේදී අධිෂ්ඨාන කර ගනිමු යැයිද අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
හජ්ජි උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා එසේ සඳහන් කර තිබේ.
ඉමහත් හරසරින් සැමරෙන ආගමික පිළිවෙතක් වූ හජ්ජි උත්සවයේ ප්‍රමුඛ පරමාර්ථය වන්නේ සමානාත්මතාවයෙන් හා සහජීවනයෙන් දිවි ගෙවීම බව අගමැතිවරයා එම පණිවුඩයෙන් පෙන්වා දී තිබේ.
ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ජනතාව ඒකරාශීව සිය ආගමික පිළිවෙත් ඉටු කරමින් හජ් උත්සවය සමරන බව අගමැතිවරයා නිකුත් කළ එම පණිවුඩයේ සඳහන් වේ.
සියලු දෙනා බැඳීමකින් වැඩ කිරීම මෛත්‍රියට හේතු වෙනවා - කථානායක
තමන් කවර පෙළැන්තියකට අයත් වුව, මනුෂ්‍යයන් ලෙස එකට -එක්ව සිතින් බැඳී දුකේදී හා සැපේදී එකිනෙකා කෙරෙහි කරුණාව, පරිත්‍යාගශීලි බව සහ ඉවසීම පතුරවන ඊදුල් අල්හා නමැති හජ්ජි උත්සව දිනය සමරන අපේ සියලු ලාංකික, මුස්ලිම් සහෝදර - සහෝදරියන්ට මාගේ හෘදයංගම ශුභාශිංසන පිරිනමන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
මුළු ලෝකයටම දීර්ඝ කලක් තිස්සේ බලපාන, පවතින අසීරු තත්ත්ව යටතේ පවා, මක්කම වන්දනාවේ යන, ඔබ සියලු දෙනා මෙසේ එක්ව සමරන්නේ නබිතුමාණන් සිය දිවියෙහි කළ අසීමිත පරිත්‍යාගයන්ය.
වාර්ෂික හජ් වන්දනාව සඳහා ලොව දස දෙසින් ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් බැතිමතුන් මක්කම නගරය සහ එහි අවට රැස්වීම, මුළු මහත් ලෝක මුස්ලිම් සමාජයේ එකමුතුභාවය පිළිබිඹු කිරීම සැබැවින්ම සතුට දනවයි.