රට තුල ජාති ආගම් භේද වලට කිසිම ඉඩක් නෑ - ඇමති විජිත
රටේ ජාතික නීති රාමුව තුළ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් සමඟ සංවාද හා සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඒ, ජිනීවාහිදී ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 58වන සැසිවාරය අමතමින්. ජාතික සමගිය සහ සංහිඳියාව තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා රජය පියවර ගැනීමට ආණ්ඩුව ප්‍රතිඥා දී ඇති බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.
ඒ යටතේ සංහිඳියා ශ්‍රී ලංකාවක් සඳහා වූ අපගේ දැක්මට සහ ප්‍රජාවන් අතර පරතරයන් පියවීම සඳහා කැපවීමට අනුකූලව, ශ්‍රී ලංකා දිනයක් ප්‍රකාශයට පත් කිරීමටද ජනාධිපතිවරයා යෝජනා කර ඇතැයි විජිත හේරත් මහතා පැවසුවා.
ගැටුමෙන් පැන නගින අභියෝගවලට මුහුණ දීම සඳහා ස්ථාපිත දේශීය යාන්ත්‍රණ සහ ක්‍රියාවලීන්, ව්‍යවස්ථාපිත රාමුව තුළ ස්වාධීන හා විශ්වසනීය ආකාරයකින් ඔවුන්ගේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති.
අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය වැනි දේශීය ආයතන ශක්තිමත් කරනු ලබන බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත්තේ.
ව්‍යවස්ථාපිත රාමුව තුළ දේශීය යාන්ත්‍රණ විශ්වාසදායක සහ ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.
ශ්‍රී ලංකා සමාජය තුළ ආතතීන් ඇති කරන ජාතිවාදය සහ ආගමික අන්තවාදය හේතුවෙන් ඇති වන ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කිරීමට බලගැන්වූ සත්‍ය සහ සංහිඳියාව පිළිබඳ කොමිසමක් සඳහා වන කටයුතු ශක්තිමත් කිරීම ද ඊට ඇතුළත්.
ගැටුම්වලින් පීඩාවට පත් උතුරු සහ නැගෙනහිර පළාත්වල සමාජ-ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු කිරීම සහ නැවත පදිංචි කිරීම, නිවාස, වන්දි සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි තීරණාත්මක අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ අවධානයක් ද යොමු කර තිබෙනවා.
වත්මන් ආණ්ඩුව ජාතිය, ආගම, පංතිය සහ කුලය මත පදනම් වූ කිසිඳු භේදයකින් හෝ වෙනස්කම් කිරීමකින් තොරව තම ජනතාවගේ විවිධත්වයට ගරු කරන සහ සමරන එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා කටයුතු කිරීමට දැඩි ලෙස හා අවංකව කැපවී සිටිනවා.
රට තුළ භේදකාරී ජාතිවාදය හෝ ආගමික අන්තවාදය නැවත ඇතිවීමට ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ.
එබැවින් ජාතික සමගිය සහ සංහිඳියාව ඇතුළත් සංවර්ධනය කරා අපගේ මාවතේ ඉදිරියට යන විට, ජාත්‍යන්තර ප්‍රජාවේ අඛණ්ඩ දිරිගැන්වීම සහ සහයෝගය වැදගත් වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ජිනීවාහිදී ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 58වන සැසිවාරය අමතමින් වැඩිදුරටත් පවසා ඇත්තේ.
