වසර 129ක් පැරණි නිරෝධායන නීතිය වෙනස් කිරීමට රජයෙන් නව පියවරක්
1897 අංක 3 දරන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා සමාලෝචන කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බෝවන රෝග පැතිරීම වැළැක්වීම සහ නිරෝධායන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නීතිමය රාමුවක් වන මෙම ආඥාපනත වර්තමාන සෞඛ්‍ය අභියෝගවලට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන තිබේ.
පුද්ගලයන්, භාණ්ඩ සහ සේවාවන්ගේ ජාත්‍යන්තර මෙන්ම දේශීය සංචලනය ඉහළ යාමත් සමඟ දේශසීමා හරහා බෝවන රෝග සම්ප්‍රේෂණය වීමේ අවදානමද ඉහළ ගොස් ඇති බව රජය පෙන්වා දෙයි.
විශේෂයෙන් ජාත්‍යන්තර සංචාර සහ වෙළෙඳ කටයුතු හේතුවෙන් බෝවන රෝග එක් රටකින් තවත් රටකට වේගයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බැවින්, ඊට සරිලන නීතිමය ප්‍රතිපාදන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ.
අදාළ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා 2016 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණද, එම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත.
ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම සමාලෝචන කමිටුව පත් කිරීමට තීරණය කර තිබේ. පසුගිය වසංගත තත්ත්වයන් තුළ ලබාගත් අත්දැකීම්ද සැලකිල්ලට ගනිමින් දැනට සකස් කර ඇති සංශෝධන පනත් කෙටුම්පත අධ්‍යයනය කර, අවශ්‍ය සංශෝධන පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම කමිටුවේ ප්‍රධාන කාර්යය වේ.
වර්තමානයේ පවතින සෞඛ්‍ය අභියෝගවලට මෙන්ම අනාගතයේ ඇතිවිය හැකි නව සෞඛ්‍ය අභියෝගවලටද කාර්යක්ෂමව මුහුණදීමට හැකි වන පරිදි නීතිමය රාමුව ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව රජය සඳහන් කරයි.