ඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්
GovPay ඩිජිටල් ගෙවීම් පද්ධතියේ නම භාවිත කරමින් රථවාහන දඩ මුදල් ගෙවන ලෙස දැනුම් දෙමින් ජනතාව වෙත යොමු කෙරෙන ව්‍යාජ කෙටි පණිවිඩ සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
පොලිසියේ රථවාහන අංශය මගින් වේග සීමා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවන ලෙස දන්වමින් මේ වනවිට ජනතාවට කෙටි පණිවිඩ කිහිපයක් ලැබෙමින් පවතින බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එම පණිවිඩ සමඟ යොමුකර ඇති GovPay සබැඳිය සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බවත්, ජනතාව නොමඟ යවා තොරතුරු ලබාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කරන සයිබර් වංචාවක් බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.
GovPay නිල වේදිකාව හරහා දඩ මුදල් ගෙවන ලෙස කෙටි පණිවිඩ හෝ වෙනත් දැනුම්දීම් යොමු කිරීමක් රජය හෝ අමාත්‍යාංශය කිසිදු අවස්ථාවක සිදු නොකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
රජයේ අනුමත නිල සහ ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පමණක් GovPay ඩිජිටල් ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වන අතර, lygov.art වැනි ව්‍යාජ ඩොමේන් සහ සැකසහිත විදේශීය වෙබ් අඩවි හරහා කිසිදු දඩ මුදලක් අය නොකරන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම වංචනික පණිවිඩ හරහා පුද්ගලයන්ගේ මූලික තොරතුරු සහ බැංකු ගිණුම්වලට අදාළ දත්ත සූක්ෂ්ම ලෙස ලබාගැනීමට උත්සාහ කරන බවද අනාවරණය කර තිබේ.
ඒ අනුව, එවැනි කෙටි පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමෙන් හෝ ඒවායේ සඳහන් සබැඳි වෙත පිවිසීමෙන් වළකින ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම රජයේ හෝ නීතිමය ආයතනවල නම් භාවිත කරමින් ලැබෙන සැකසහිත දැනුම්දීම් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත්, රජයේ නිල සේවා ලබාගැනීමේදී gov.lk නිල වෙබ් අඩවි පමණක් භාවිත කරන ලෙසත් අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.