බිඳ වැටුණු රජයේ සේවාවන් වහාම යථා තත්ත්වයට පත් කිරීමට විශේෂ රැස්වීමක්
මෙරට දෙපාර්තමේන්තු 8 ක පමණ බලපෑම් ඇතිකළ මාර්ගගත රජයේ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කිරීම වෙනුවෙන් අදාළ නිලධාරීන්ගේ විශේෂ රැස්වීමක් අද (14) දින පැවැත් වෙන බව වාර්තා වේ.
ඒ අනුව අද පෙරවරුවේදී එම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිත බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී ඇත.
රජයේ ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් (LGC) පද්ධතියේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් රජයේ වැදගත් අන්තර්ජාල සේවාවන් රැසකට තාවකාලිකව බලපෑම් එල්ල වී තිබුණු බව ඊයේ (13) දින වාර්තා වුණා.
ඒ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මඟින් නිකුත් කළ නිවේදනයක් මඟින්.
ඒ අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ පද්ධතිය, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ e-ආදායම් බලපත්‍ර පද්ධතිය (බස්නාහිර පළාත හැර), සහ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය ඇතුළු සේවාවන් රැසක් මේ හේතුවෙන් අඩාල වී ඇති බව සඳහන් වුණා.