ගෝලීය උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට - එල් නිනෝ අවදානමක්
ඉදිරි වසර පහක කාලය තුළ ලෝකයේ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය ඉතිහාසයේ වාර්තාගත ඉහළම මට්ටම දක්වා ළඟා වනු ඇති බව එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා ඒජන්සිය සහ එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලයඑක්ව නිකුත් කළ නවතම ඒකාබද්ධ පර්යේෂණ වාර්තාවක දැක්වෙයි.
මෙම විශේෂ වාර්ෂික වාර්තාවට අනුව, වාර්ෂික ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය 1850-1900 කාලවකවානුවේ පැවති පූර්ව කාර්මික විප්ලව මට්ටමට වඩා 1.3°C සහ 1.9°C වැනි ඉහළ අගයකින් වර්ධනය වනු ඇතැයි විද්‍යාඥයෝ පුරෝකථනය කරති.
මෙම දේශගුණික විපර්යාස හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ ලොව පුරා අසාමාන්‍ය කාලගුණික රටාවන් රැසක් නිර්මාණය වීමේ අවදානමක් ද මතු වී තිබේ.
මෙම ගෝලීය උණුසුම් වීමේ සෘජු බලපෑමක් ලෙස ඉදිරි ශීත ඍතු පහක කාලය තුළ පෘථිවියේ උතුරු අර්ධගෝලයට වඩාත් වැසි සහිත කාලගුණික තත්ත්වයක් උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ උතුරු යුරෝපය, ඇලස්කාව මෙන්ම සයිබීරියාව වැනි කලාපවලට අතිශය අධික වැසි සහිත දේශගුණයක් ඇති විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අඟවයි.
කෙසේ වෙතත්, උතුරු අර්ධගෝලයට මෙලෙස අධික වර්ෂාපතනයක් ලැබෙද්දී, ලොව පෙනහල්ල බඳු වූ සුප්‍රකට ඇමසන් වනාන්තරය ආශ්‍රිත කලාපයට මෙම කාල වකවානුවේදීම දැඩි වියළි කාලගුණික ස්වභාවයක් බලපානු ඇතැයි ද මෙම වාර්තාව මඟින් පෙන්වා දී ඇත.
මීට අමතරව, මෙම වසරේ ශීත ඍතුවේදී පැසිෆික් සාගරය කේන්ද්‍ර කරගනිමින් අතිශය ප්‍රබල 'එල් නිනෝ' දේශගුණික සංසිද්ධියක් සක්‍රීය වනු ඇතැයි ද වාර්තාවේ සඳහන් වේ.
මෙම දරුණු එල් නිනෝ තත්ත්වය ඉදිරි 2027 වසර දක්වාම සක්‍රීයව පැවතිය හැකි අතර, මේ හේතුවෙන් පැසිෆික් සාගර කලාපයේ ජලයේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යෑම සමස්ත ගෝලීය උෂ්ණත්වය වාර්තාගත මට්ටමකින් තවත් ඉහළ නැංවීමට ප්‍රධානතම හේතුවක් වනු ඇතැයි ද කාලගුණ විද්‍යාඥයෝ වැඩිදුරටත් අවධාරණය කරති.