14 හැවිරිදි අයියා සිය නැගණිය ඝාතනය කරයි
ජංගම දුරකථනයක් ලබා නොදීම හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිය 11 හැවිරිදි සෙහොයුරිය අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවතක් ඒරාවුර් ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මියගිය දැරියගේ 14 හැවිරිදි වැඩිමහල් සහෝදරයා (සිසුවෙකු) ඒරාවුර් පොලීසිය විසින් අද (30) දින අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඒරාවුර් ප්‍රදේශයේම පදිංචිව සිටි සත්‍යානන්දන් සදීෂා නමැති 11 හැවිරිදි පාසල් සිසුවියකි.
පසුගිය 28 වැනිදා මෙම දැරිය අතුරුදන්ව සිටීමෙන් පසු ඇයගේ මළ සිරුර නිවසේ නානකාමරය තුළ පිහිටි ජල ටැංකියක් තුළ තිබී සොයාගැනුණි.
මෙම දරුවන් දෙදෙනාගේ මව විදේශගතව රැකියාවක නිරත වන අතර, අනතුර සිදුවූ දිනයේ ඔවුන්ගේ පියා ද රැකියා කටයුත්තක් සඳහා පිට ප්‍රදේශයකට ගොස් සිට ඇත.
නිවසේ වැඩිහිටියන් කිසිවෙකුත් නොමැති වටපිටාවක සැකකාර 14 හැවිරිදි සිසුවා සිය නැඟණියගෙන් ජංගම දුරකථනය ඉල්ලා ඇති නමුත් ඇය එය ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
මේ හේතුවෙන් දරුවන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් අවසානයේදී මෙම බිහිසුණු ඝාතනය සිදු කර ඇති බවත්, ඉන් අනතුරුව සැකකරු කිසිවක් සිදු නොවූ පරිදි අසල්වැසි නිවසකට ගොස් සැඟව සිට ඇති බවත් විමර්ශනවලදී සැක කෙරේ.