මැරුණයි කියල හිතපු ජර්මන් සුරූපිනිය මීගමුව හෝටලයකින් මතු වූ හැටි මෙන්න.

Police Sri Lanka Jermaine Margaret
By Aruna Dec 19, 2021 03:10 AM GMT
Aruna

Aruna

Report

පොලිස් නිලධාරීන්ගේ දක්ෂ විමර්ශන හමුවේ විසඳුණු අපරාධ බොහෝය.

දේශීය වශයෙන් මෙවන් සිද්ධීන් සුලබව දක්නට ලැබුණද අන්තර්ජාතිකවද සිදුකළ සාර්ථක විමර්ශන නිසා ශ්‍රී ලංකා පොලිසිය පැසසුමට ලක්වූ අවස්ථාද බොහෝ විය.

ශ්‍රී ලංකා පොලිසිය අන්තර්ජාතිකව පැසසුමට ලක්වූ තවත් සාර්ථක විමර්ශනයක් පිළිබඳ ඉකුත්දා මාධ්‍ය වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අවමානයට ලක්වීමට ඉඩ තිබූ මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශනය සිදුකළ පුළුල් විමර්ශනය නිසා ශ්‍රී ලංකාව එම අපකීර්තියෙන් වළකා ගත හැකි විය.

කලී ගුන්ෂේල් ජර්මානු ජාතික ව්‍යාපාරිකයෙකි. ඔහු පනස්පස් හැවිරිදිය. ඔහුගේ බිරිය මාගරට් ගුන්ෂේල්ය.

ඇය පනස්හතර හැවිරිදිය. මේ යුවළට දරුවන් දෙදෙනෙකි. ඔවුන් ජර්මනියේ උසස් විද්‍යාලයක සිප්සතර හැදෑරුවෝය.

ජර්මනියේ බර්ලින් ගවුනෙන්හි ජීවත් වූ ඔවුහු ඉතාමත් සාමකාමී දිවි පෙවෙතක් ගත කළ අය වූහ.

මාගරට්ගේ මවුපියන්ද ජීවත් වූයේ ඇය සමඟය. මාගරට් මෙන්ම ඇගේ සැමියා කලී ද බිරියගේ මවුපියන්ට ළෙන්ගතුව සැලකුවේය.

කාලය මෙසේ ගෙවී ගියේය. දරු දෙදෙනා හා සැමියා සමඟ නිදහසේ කල් ගෙවූ මාගරට්ට හිටිහැටියේ ලංකාවට යෑමට අවශ්‍ය විය. ඒ මිතුරකු හමුවීම සඳහාය.

ඇය මේ බව සිය සැමියාට මෙන්ම ඇගේ මවුපියන්ටද කීවාය. අවසානයේ ඔවුන්ගේ කැමැත්ත මත ඇය ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට ගුවනින් පැමිණියාය.

ඒ ඉකුත් අප්‍රේල් මස 17 වැනිදාය. මාගරට්ගේ ශ්‍රී ලංකා ගමන ගැන වැඩි යමක් සොයන්නට කලී ගියේ නැත.

ඇය මිතුරා සමඟ ලංකාවේ සතුටින් සිටිනු ඇතැයි ඔහු සිතුවේය. ඉඳහිට මාගරට්ට දුරකථන ඇමැතුමක් දී ඇගේ දුක සැප විමසුවද මාගරට් ගැන කලීගේ හිතේ ලොකු විශ්වාසයක් තිබුණේය.

මේ අතරතුර දිනක් හිටිහැටියේ මාගරට්ගේ පියා අසනීප විය.

ඔහුට ප්‍රතිකාර ලබා දුන්නද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වූයේ නැත.

මාගරට්ගේ පියා ජර්මනියේ රෝහලක ජීවිතක්ෂයට පත්විය. පියාගේ හදිසි වියෝව කලී ඇතුළු මාගරට්ගේ පාර්ශ්වයට දැඩි දුකක් ගෙන දුන්නේය.

“අපි කෝකටත් මාගරට්ට මේ බව කියමු. “එයා ඩැඩීට හුඟාක් ආදරේනේ.” සැමියා මෙන්ම මාගරට්ගේ සොහොයුරියද පියාගේ අභාවය මාගරට්ට දැනුම් දෙන්නට දැඩි වෙහෙසක් ගත්හ.

එහෙත් ඇය සම්බන්ධ කර ගැනීම දැඩි අසීරුවක් ගෙන දුන්නේය. එහෙත් ජර්මනියේ සිටි ඇගේ සැමියා උත්සාහය අත්හැරියේද නැත.

කෙසේ හෝ මාගරට්ට මේ බව දැනුම් දෙන්නට ඔහුට හැකි විය. “හදිසියේම ඩැඩා නැති වුණා” එහෙත් මාගරට් එය එතරම් සැලකිල්ලකට ගත්තේ නැත.

ඇය පියාගේ අභාවය ගැන තැකීමක් නොකළාය. වචනයක් දෙකක් කතා කර දුරකථනයද විසන්ධි කළාය.

සැමියාට මෙන්ම මාගරට්ගේ සොහොයුරියටද මෙය මහත් ගැටලුවක් විය. ඔවුහු මාගරට්ගේ වෙනස්වීම ගැන පුදුමයට පත් වූහ.

තවත් දින ගණනාවක් ගත විය. මාගරට් සම්බන්ධ කර ගැනීමට ඇගේ සැමියා ඇතුළු පාර්ශ්වයන් ගත් සමහර උත්සාහයන් සාර්ථක නොවීය. මාගරට්ගේ වෙනස්වීම ඔවුනට මහත් ගැටලුවක් විය.

මෙලෙස කාලය ගතවෙද්දී හිටිහැටියේ මාගරට් විසින් සැමියා කලී වෙත හඬපටයක් එවන්නට වූවාය.

හඬපටය ඔස්සේ කතා කර ඇත්තේ තම බිරිය මාගරට් බව කලීට වැටහිණි. ඇය හඬපටයෙන් තොරතුරු දෙන්නේ ඉතා අසීරුවෙන්ය.

ඇය කිසියම් පුද්ගලයන්ගේ ග්‍රහණයකට හසුව ඇතැයි කලීට සිතිණි. කලී බිය විය.

එහෙත් හඬපටය ඔස්සේ මාගරට්ට පිළිතුරු දීමටත් ඇයට සිදුවී ඇත්තේ කුමක්ද යන්න ප්‍රශ්න කිරීමටත් ඔහුට නොහැකි විය.

කලීට තම බිරිය ගැන ඇති වූයේ බියකි. එමෙන්ම දුකකි. මාගරට්ගේ හඬපටය ඇසූ ඇගේ පවුලේ පාර්ශ්වයද මින් කලබලයට පත්වූහ. “එයාට මොනවා හරි ප්‍රශ්නයක්.

එයාව කවුරු හරි කිඩ්නැප් කරලා. ඒකයි එයාට කතා කරන්න බැරි.” මාගරට්ගේ පාර්ශ්වය නොයෙකුත් දේ කියමින් මාගරට් කෙසේ හෝ එම පිරිසගෙන් බේරාගත යුතු බව කීහ.

කලීද ඒ හැම දෙයකටම සූදානම් වූ සැමියකු විය. කළයුත්තේ කුමක්දැයි කල්පනා කරමින් සිටි කලීට ඒ අතර දුරකථන ඇමතුමක් ලැබිණි.

“මාගරට් වෙන්න ඇති.” එසේ සිතූ ඔහු රිසීවරය අතට ගත්තේය. එහෙත් දුරකථනයේ එහා කෙළවර වූයේ ගොරහැඩි පිරිමියෙක්.

“තමුසෙගෙ නෝනා ඉන්නේ දැන් අපි ළඟ. ගෑනිව ආයේ ජර්මනියට එවන්න නම් අපිට ලොකු සල්ලියක් ඕනෑ” කලීට ඊට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් කප්පම්කරු දුන්නේ නැත.

කප්පම්කරු තම සිතැඟි කාරණය පවසා සිය දුරකථනය විසන්ධි කළේය. මෙම ඇමතුමත් සමඟ කලී කරකවා අතහැරියා සේ විය.

“හරිනේ මම කිව්වේ මාගරට්ව කිඩ්නැප් කරලා. මුන් මාගරට්ව මරාවි. එතකොට මේ දරුවෝ දෙන්නට..”

කලී නොයෙක් දේ සිතුවේය. මාගරට් සොයා ශ්‍රී ලංකාවට යන්නටද සූදානම් විය. ඒත් කොරෝනා වසංගතය නිසා ඒ අවස්ථාවද ඔහුට අහිමි විය. ඒ නිසා බිරිය සොයා ලංකාවට යෑමට ඔහුට නොහැකි විය.

එහෙත් කප්පම්කරුවන්ට මුදල් දී බිරිය බේරා ගැනීමට ඔහු ඉදිරිපත් වුණේ නැත. අවසානයේ කරන්නට දෙයක් නොවූම තැන මාගරට්ගේ පාර්ශ්වයේ උපදෙස් මත කලී සිය බිරියට සිදුවී ඇති දේ පවසමින් ජර්මානු පොලිසියට ද පැමිණිල්ලක් කළේය.

ඔහු එතැනින් නතර වූයේ නැත. හැම මිනිත්තුවක්ම අපතේ නොහරමින් කලී සිය බිරිය සම්බන්ධ කර ගැනීමට මහත් වෙහෙසක් ගත්තේය.

එතෙක් වේලා ක්‍රියාත්මක වෙමින් තිබූ මාගරට්ගේ ජංගම දුරකථනයද ඉන් පසු අක්‍රිය වී තිබිණි.

කලී ඇය හා සම්බන්ධ වන්නට එතැනින් එහාට ගත් කිසිදු උත්සාහයක් සාර්ථක වූයේ නැත.

මාගරට් ගලවා ගැනීමට තිබූ එකම උත්සාහයත් එලෙස ව්‍යර්ථ වීම කලීට මහත් වේදනාවක් ගෙන දුනි.

දැන් ඉතින් කළ යුත්තේ කුමක්දැයි කලී දස අතේ කල්පනා කළේය.

ඔහුට ක්ෂණයෙන් ශ්‍රී ලංකා පොලිසිය මතකයට ආවේය.

ඔහු අන්තර්ජාලයට පිවිස ශ්‍රී ලංකා පොලිසියේ වෙබ් අඩවිය ඔස්සේ සංසරණය වෙමින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නිල ඊමේල් ලිපිනය සොයා ගත්තේය.

වහා ක්‍රියාත්මක වූ කලී තම බිරිය ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී කිසියම් පුද්ගලයන්ගේ ග්‍රහණයට හසුව ඇතත් ඇය බේරා දීමට ශ්‍රී ලාංකික පුද්ගලයෙක් දුරකථන මාර්ග ඔස්සේ තමාට කතා කරමින් මුදල් ඉල්ලූ බවත් ඊමේල් පණිවුඩය ඔස්සේ පොලිස්පති වික්‍රමරත්න මහතා දැනුවත් කළේය.

තම බිරිය ශ්‍රී ලංකාව තුළදී ඝාතනයට ලක්ව ඇති බවට සැකකරන බැවින් බිරියට සිදු වූ දේ හෙළිකර දෙන්නැයි ජර්මානු ජාතික කලී ගුන්ෂේල් පොලිස්පති වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලා සිටියේය.

එසේම එම පැමිණිල්ලේ මාගරට්ගේ උස, මහත පැහැය හා අංග ලක්ෂණ සමඟ මාගරට් ශ්‍රී ලංකාවේදී හමුවීමට සූදානම්ව සිටි ගල්කිස්සේ පදිංචි පුද්ගලයාගේ නම් ගම්ද කලී පොලිස්පතිවරයාට දන්වා සිටියේය.

එමෙන්ම මාගරට්ගේ මෙන්ම ඔහුගේ ඡායාරූප කිහිපයක්ද කලී පොලිස්පතිවරයා වෙත එවා තිබිණි. කලීගේ ඊමේල් පැමිණිල්ල පොලිස්පතිවරයාගේ නෙත ගැටුණේ ඔය අතරය.

ජර්මානු ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ඝාතනයට ලක්වූයේ නම් හෝ අතුරුදන් වූයේ නම් එය ශ්‍රී ලංකා රජය මෙන්ම ශ්‍රී ලංකා පොලිසියද අන්තර්ජාතික වශයෙන් මහත් අපකීර්තියකට පත්වන බව පොලිස්පතිවරයා වටහා ගත්තේය.

වහා මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වා ජර්මානු කතට සිදුවූ දේ සොයා බැලීමට තීරණය කළ පොලිස්පතිවරයා කලීගේ ඊමේල් පණිවුඩය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකළේය.

ඒ මීට මාස තුනකට කලිනි. පොලිස්පතිවරයාගේ දැනුම්දීම මනාව අධ්‍යයනය කළ නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න මහතා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට එම පැමිණිල්ල තම දෙපාර්තමේන්තුව යටතේ ඇති මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතා වෙත යොමු කරවීය.

පසුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟද සාකච්ඡා කොට උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ඒ සඳහා විමර්ශන කිරීමට පොලිස් කණ්ඩායමක්ද පත් කරන්නට විය.

“මාගරට් ගැන කිසිදු හෝඩුවාවක් එම ලිපියේ සඳහන් නොවීය.

ඇය සිටින ඉසව්වක්ද එහි ඇතුළත් වී නොමැත. ඇත්තේ ඇය මෙරටට පැමිණ හමුවීමට නියමිත පුද්ගලයාගේ නම හා ලිපිනය පමණි.

ඒ අනුව පොලිස් කණ්ඩායමක් ඔහු සොයා ගල්කිස්සට ගියහ. එහෙත් එම ලිපිනයේ පැමිණිල්ලේ සඳහන් කිසිවකු පදිංචිව සිටියේ නැත.

ඒ අනුව එම ලිපිනයද ව්‍යාජ එකක් බව රහස් පොලිස් නිලධාරීන්ට වැටහිණි. “ඉන් පස්සේ අපට තිබුණු එකම තුරුම්පුව වුණේ මාගරට්ගේ පින්තූරය විතරයි.

මේ කාලේ සංචාරකයෝත් අඩු නිසා අපි හිතුවා මේ පින්තූර ඔස්සේ ගියොත් මාගරට් ඉන්න තැන සොයාගන්න පුළුවන් වෙයි කියලා.

ඒ අනුව මාගරට්ගේ පින්තූරය අපි දිවයින පුරා ඉන්න අපේ නිලධාරීන් වෙත යොමුකළා. විදේශිකයෝ වැඩි වශයෙන් ගැවසෙන තැන්වලට අපේ නිලධාරීන් යොදවලා ඒ සමාන රූපයක් තියෙන ජර්මන් කාන්තාවක් ඉන්නවාද කියලා බලන්න කිව්වා.” “ඔය අතරෙදී අපි මාගරට්ගේ විස්තර ආගමන විගමන දෙපාර්තමේන්තුවටත් දැනුම්දීලා ඒවායේ පරිගණක දත්ත පරීක්‍ෂා කළා.

එතැනදි අපිට හෙළි වුණා මාගරට් නැවත ජර්මනියට ගිහින් නැති බව. ඇය අනිවාර්යෙන්ම ලංකාවේ ඉන්නවා කියලා.

මොනව හරි එයාට කරදරයක් වෙලා තියෙනවා නම් ඒක සිද්ධ වෙලා තියෙන්නේ ලංකාවේදී බව අපට තේරුම් ගියා.

ඒ නිසා අපි මේ කාන්තාව හොයාගන්න උත්සාහ කළා.” “ඔය අතරේ තමයි මීගමුවේ සිටින නිලධාරීන් කණ්ඩායමක් අපව දැනුවත් කළේ මාගරට්ට සමාන රුවක් තියෙන කාන්තාවක් මීගමුවේ හෝටලයක තවත් ශ්‍රී ලාංකික පුරුෂයකු සමඟ ඉන්න බව.

ඒ තොරතුරු තවදුරටත් නිරීක්‍ෂණය කරලා තහවුරු කරගන්න කියලා මම ඒ නිලධාරීන්ට දැනුම් දුන්නා.

ඒ කාන්තාව පසුපස එයාට නොදැනෙන සේ ගිහින් ඒ රූප රාමුවල ඉන්නේ ඇයමද කියලා තහවුරු කර ගන්නා ලෙසත් මම දැනුම් දුන්නා.” “ඉන් පස්සේ අපිට මීගමුවේ ඉන්න නිලධාරීන් දැනුම් දුන්නා මීගමුවේ ඉන්න සුදු ජාතික කාන්තාව මාගරට් බවට.

පස්සේ නිලධාරීන්ට මම කිව්වා ඇයට මේ බව දැනුම්දීලා ඇගෙන් හා ඇය සමඟ රැඳී සිටින පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස. ඒ අනුව නිලධාරීන් ඒ දෙන්නාගෙන්ම ප්‍රකාශ ලබාගෙන තිබුණා. එහිදී ඇය ප්‍රකාශ කළා ඇය එම පුද්ගලයා සමඟ රැඳී සිටින්නේ අගේ කැමැත්තෙන් බවට.

ඔහු ඇයට හමුවී ඇත්තේ එංගලන්තයේදී බවත් ඇය ප්‍රකාශ කර තිබුණා. මාගරට් කලක් එංගලන්තයේ වාසය කර තියෙනවා. එහිදී අන්තර්ජාලය ඔස්සේ දෙන්නා හඳුනාගෙන තියෙනවා.

එතැනින් එහාට වැඩිදුර විමර්ශනයක් පවත්වාගෙන යන්න අපිට හැකිවුණේ නැහැ. මාගරට් ඒ ශ්‍රී ලාංකික පුද්ගලයා සමඟ කැමැත්තෙන් ජීවත්වීම නිසා” උසස් විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය.

එහෙත් විමර්ශන නිලධාරීහු ඇයට එක් අවවාදයක් දුන්හ. ඒ ඇය නැවත ශ්‍රී ලංකාවෙන් පිටව යන්නේ නම් වහා ළඟම ඇති පොලිසිය හෝ දැනුවත් කරන ලෙසයි.

ඒ බව රහස් පොලිස් නිලධාරීන් කොච්චිකඩේ පොලිසියද දැනුවත් කරන්නට විය.

ජර්මානු ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවේදී පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා එය නුදුන් පසුබිමක ඇය ඝාතනය කර ඇති බවට උපකල්පනය කොට අන්තර්ජාතිකව ශ්‍රී ලංකාවට අවමානයක් කිරීමට ගත් උත්සාහයක් දින 20ක් ඇතුළතදී අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ගත් උත්සාහය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ පැසසුමට ලක්විය.

තම බිරියට සිදුවූ දේ සොයා දෙන්නැයි පොලිස්පතිවරයාට කළ ඉල්ලීම දින 20ක් ඇතුළත අනාවරණය කර ගැනීමට සහාය දී බිරිය ජීවතුන් අතර සිටින බවට අනාවරණය කරදීම සඳහා ශ්‍රී ලංකා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගත් වෙහෙස හා සාර්ථක විමර්ශනය ඉතා අගයන බව කියමින් ජර්මානු ජාතික කලී ගුන්ෂෙල් විසින් පොලිස්පතිවරයාට ඊමේල් පණිවුඩයක්ද එවා තිබීම විශේෂත්වයක් විය.

“මම හිතුවේ මගේ බිරිය කිසියම් පිරිසක් විසින් මරලා දාලා ඇති කියලයි. නමුත් ඔබලාගේ පොලිසිය ඇය ජීවතුන් අතර සිටින බවට මට සොයා දුන්නා.

ශ්‍රී ලංකා පොලිසියේ කාර්යභාරය මමත් මගේ පවුලත්, රටත් අගය කරනවා.

ඇය නැවත ජර්මනියට ඒමට අකැමැති කුමක් හෝ මානසික ව්‍යාකූලතාවක් මතයි. ඇගේ සිතිවිලි සියල්ල කවුරුන් හෝ වෙනස් කරලා. ඇය නැවත ජර්මනියට නොපැමිණීම ගැන අපි සියලු දෙනාම දැඩි කම්පාවට පත්වී සිටිනවා.

ඇය ජර්මනියට එනතුරු මමත් දරුවනුත් මඟ බලා සිටිනවා.” කලී එම ඊමේල් පණිවුඩයේ සටහන් කර තිබූ බව කියයි. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ඍජු අධීක්‍ෂණය මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීම මත විශේෂ පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූහ.

රහස් පොලිස් විමර්ශන අනුව ලිපිය සකස් විය. මව්බිම


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now