ගෑස් අනතුරු 458ක් පිළිබද ගෑස් කමිටුවේ වාර්ථාව නිකුත් වෙයි..පරීක්ෂණ ප්‍රතිඵලය මෙන්න..

By Sewvandhi Dec 06, 2021 01:55 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ කමිටුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර ඇත. ඒ අනුව 2021.01.01 වන දින සිට 2021.12.05 වන දින දක්වා දිවයින පුරා වාර්තා වු ගෑස් සිලින්ඩර ආශ්‍රිත මුළු සිද්ධීන් 458ක් සම්බන්ධව කරුණු විමර්ශනය කර තිබේ.

එම කරුණු පිළිබඳ සිදුකළ විමර්ශනවලදී ගෑස් සිලින්ඩර ආශ්‍රිත සිදුවීම්වල සැලකිය යුතු අඩුවීමක් කමිටුව විසින් නිරීක්ෂණය කර ඇතැයි ද එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා සඳහන් කර ඇත. ඒ ඇනුව සමස්ත සිදුවීම් 458න් 244ක් ම ගෑස් කාන්දුවීම සම්බන්ධව ලැබුණු පැමිණිලි බවට නිරීක්ෂණය වු බව කමිටු වාර්තාවේ දැක්වේ.

එමෙන්ම කමිටුව විසින් ගෑස් කාන්දුවීම් හඳුනා ගැනීම සඳහා අනන්‍ය වු ගන්ධය නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ. ඒ පිළිබඳව අදාළ අයාතන හා සමාගම් සමග කළ සාකච්ඡාවේ දී අදාළ සමාගම් මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස්වල ප්‍රමාණවත් ඊතයිල් මර්කැප්ටන් රසායන ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් යුතුව ඇතුළත් කිරීමට එකඟ වී තිබේ.

ඒ අනුව මින් ඉදිරියට ගෑස් සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් ඇති වුවහොත් ඒ බව පාරිභෝගිකයාට පහසුවෙන් හඳුනාගත හැකිය. වාර්තා වු සිදුවීම්වලට අදාළ ගෑස් කාන්දුවීම්වලදී මෙම ගන්ධය නිකුත් නොවීම නිසා පාරිභෝගිකයින් විසින් නොයෙකුත් අනාරක්ෂිත ක්‍රම ඔස්සේ ගෑස් සිලින්ඩරවල කාන්දුවීම් පරීක්ෂා කිරීමට යාමෙන් මින් ඉදිරියට වළකින ලෙස ද කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දෙවන කාරණය ලෙස කමිටුව විසින් හඳුනාගෙන ඇත්තේ තත්ත්වයෙන් බාල හා නියමිත කාලය ඉකුත්වු රෙගියුලේටර්, ගෑස් සැපයුම් නළ, හෝස් ක්ලිප් හා දිරාපත්වු උදුන් භාවිතය බව ද එම නිවේදනයේ දැක්වේ. පසුගිය කාලසීමාව තුළ වාර්තා වු සිදුවීම්වලට පාරිභෝගිකයා වෙත නිකුත් කර ඇති ගෑස්වල සංයුතියේ යම් වෙනස්වීමක් බලපෑවේද යන කාරණය පිළිබඳව තවදුරුත් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකෙරෙමින් පවතින අතර පෙර තිබු තත්ත්වයෙන් යුතු ගෑස් පරිභෝගිකයා වෙත ලබාදීමට නව ක්‍රමවේදයක් කමිටුව විසින් නිර්දේශ කර ඇත.

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය හා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය එකතුව සිදුකරන ගුණාත්මක ඇගයීමකින් පසු පහසුවෙන් හඳුනාගත හැකි විශේෂිත මුද්‍රාවක් සහිත ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කරනු ඇතැයි ද කමිටුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

GalleryGallery