ඕනතරම් QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ගන්න අවස්ථාවක්.. හැබැයි මේ අයට පමණයි..

Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass Weather
By Aruna Oct 17, 2022 11:08 PM GMT
Aruna

Aruna

Report

ගම්පහ දිස්ත්‍රික්කයේ නැවත ගංවතුර තත්ත්වයක් ඇති නොවීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පලාත්පාලන ආයතන ප්‍රධානීන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දෙයි.

ඒ අනුව ගංවතුර තත්ත්වය පහව ගිය වහාම දිස්ත්‍රික්කයේ සියලුම ඇල මාර්ග, ගංඟාවන් ඇතුළු ජලබස්නා මාර්ග පිරිසිදු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට රජය සමඟ තමන් සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ගම්පහ දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් පෙරේදා (16) පැවති සාකච්ඡාවේදි මේ බව සඳහන් විය.

ගම්පහ දිසාපති එස්.සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා සඳහන් කළේ පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 11,158 කට අයත් පුද්ගලයන් 46,797 දෙනෙකු ආපදාවට ලක්ව සිටින බවයි.

මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය පහව යමින් තිබේ.

ඒ හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර සිටින පිරිස් ද සිය වාසස්ථාන කරා යොමුවෙමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් නිවාස දෙකකට පූර්ණ වශයෙන් හානිසිදුවී ඇති අතර තවත් නිවාස දෙකකට අර්ධ හානි සිදුව තිබෙන බවද මෙහිදී අණාවරණය විය.

ආපදාවට ලක්ව සිටින සියලුම දෙනාට යුද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය ඇතිව පිසූ ආහාර ලබාදෙති. එමෙන්ම ඉදිරියේදි වියලි ආහාර ලබාදීමටද නියමිතය.

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඉන්දික වන්නිනායක මහතා සඳහන් කළේ අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් පැතිරීයන රෝගී තත්ත්වයන් පාලනය කිරීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් සියලුම සෞඛ්‍ය නිළධාරින් දැනුවත් කර ඇති බවයි.

එවැනි හදිසි අවස්ථාවන් සම්බන්ධයෙන් 033-2234904 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.

මේ අතර ගංවතුර තත්ත්වය පහවයෑමත් සමඟ පැතිරයන ඩෙංගු රෝගය ඇතුළු වසංගත රෝගී තත්ත්වයන් පාලනය කිරීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් දැනටමත් සැලසුම් සකස්කර තිබෙන බවද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඉන්දික වන්නිනායක මහතා සඳහන් කළේය.

එමෙන්ම ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමේදී QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීම බාධාවක්ව ඇති බව පළාත් පාලන ආයතන ප්‍රධානීහූ මෙහිදී පෙන්වා දුන්හ.

එහිදී ගම්පහ දිසාපති එස්.සත්‍යානන්ද මහතා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දෙනු ලැබුවේ අවශ්‍යතාවය අනුව QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඒ බව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දෙන ලෙසද දිසාපතිවරයා උපදෙස් දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප්, 140 බලසේනා මූලස්ථානයේ අණදෙන නිළධාරි බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්,වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරින්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින්, විදුලිබල මණ්ඩලයේ නිළධාරින් ඇතුළු තවත් රාජ්‍ය ආයතනවල නිළධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now