ඉන්ධන සම්බන්ධයෙන් සිදු වූ දෙයක්..ලීටරය 182ක දෙයි..
ඛනිජ තෙල් සංස්ථාවේ සිට ලක්දනව් විදුලි බලාගාරය වෙත යැවූ දැවි තෙල් අඩංගු බවුසර් දහයකින් පහක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇතැයි වාර්තා වනවා.
නැව් තෙල් වෙළෙඳාමේ නිරත බවුසර් හිමියකු විසින් සිය බවුසර් යොදාගෙන විදුලි බලාගාරය වෙත මෙම දැවි තෙල් තොගය රැගෙන යද්දී දැවි තෙල් ලීටර් 19800ක් බැගින් වූ බවුසර් පහක් මෙසේ අතුරුදන් වී ඇති බවයි හෙළිදරව් වී ඇත්තේ.
තෙල් සංස්ථාවේ නිලධාරියෙක් පැවසුවේ, දැවි තෙල් බෙදා හැරීමේදී මීට පෙරත් මෙවැනි සිද්ධියක් වාර්තා වී ඇතත් දේශපාලන හිතවත්කම් මත ඒවා යට ගසා ඇතැයි පැවසෙන අතර, මෙවර සිද්ධිය යටපත් කිරීමට විවිධ පාර්ශ්ව උත්සාහගෙන ඇතත් අසාධාරණයට එරෙහි තෙල් සංස්ථා නිලධාරීන්ගේ බලපෑම් මත එය යටපත් කරගැනීමට නොහැකි වූ බවයි.
මෙලෙස අතුරුදන් වී ඇති දැවි තෙල් තොගය කුමන ආයතනයකට විකුණුවාදැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා තෙල් සංස්ථාව වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම සිදුවීමට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධව විමසීමට අප ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශක ලෙස පත්කර ඇති අලෙවි කළමනාකරු චමින්ද සමරකෝන් මහතා සම්බන්ධ කරගැනීමට අවස්ථා කීපයකදී උත්සාහ කළද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.
මේ අතර අතුරුදන් වූ බවුසර පහේ තිබූ දැවි තෙල් ලීටරයක මිල රුපියල් 182.29ක් ලෙස සපුගස්කන්ද පිරිපහදුවේ ලේඛනවල සඳහන්ව ඇති බව ද පැවසේ.
