ලංකාවට ඇති තවත් බරපතළ අවදානමක් ගැන කල්තියා දැනුම් දීමක්
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා වසංගත රෝග පැතිරීමේ අවදානම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ගංවතුර, නායයෑම් සහ ස්වාභාවික ආපදාවලින් පීඩා විඳින ජනතාවට සෞඛ්‍ය අර්බුදයකට ද මුහුණ දීමට සිදුවීම ඛේදවාචකයක් වුවත් තමන්ගේ සෞඛ්‍ය පිළිබදව සැලකිලිමත් වන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දෙයි.
මෙවැනි ආපදා අවස්ථාවකදී ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වසංගත රෝග සහ ඒවායෙන් ආරක්ෂා වන ආකාරය පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළා.
ඒ, " ගංවතුරට හසුවීමෙන් මේ වන විට ජල මූලාශ්‍රයන් සියල්ලම පාහේ දූෂණය වෙලා තියෙන්නේ. පිරිසිදු පානීය ජලය නැහැ. ඒ නිසා මේ මොහොතේ ඔබ අතට පත්වෙන ජලය හැකි සෑම අවස්ථාවකදීම උතුරුවා නිවා පානය කරන්න කියලා අපි මුලින්ම ජනතාවට මතක් කරනවා. මේ ඇතිවී තිබෙන ආපදා වටපිටාව තුළ ජලය උතුරුවා නිවා ගැනීම බොහෝ දෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ බව අපි දන්නවා. ඒත් හැකියාව තිබෙන සෑම අවස්ථාවකම උතුරුවා නිවාගත් ජලය පාවිච්චි කිරීම තමන්ගේ සෞඛ්‍යයට හොඳයි. ඒ වගේම ගංවතුර නිසා එළවළු, පලතුරු සහ පලා වර්ග දැඩි ලෙස අපිරිසුදු වෙලා තියෙන්නේ. එවැනි දේවල් පරිභෝජනයට ගන්නවා නම් හොඳින් සෝදා පිරිසුදු කර ගැනීම අනිවාර්යයි. අනෙක අවතැන් කඳවුරුවල සිටින අපේම සහෝදර ජනතාවට පිසූ ආහාර ලබා දීමේදී වඩාත් පිරිසුදුව ඒ ආහාර පාන ලබා දීමට පරිත්‍යාගශීලීන් කල්පනාකාරී විය යුතුයි. එහෙම වුණොත් අපිට මේ ආපදා තත්ත්වයෙන් පසුව ව්‍යාප්ත වන ලෙඩරෝග යම් තාක් දුරකට හෝ පාලනය කරගන්න හැකියාව ලැබෙනවා." ඒ වගේම මේ වන විට පානීය ජලය ලබාගත් ළිං සියල්ලමත් අපිරිසුදු වෙලා තියෙන්නේ. ළිං පිරිසුදු කිරීමේ පහසුකම්නම් සෞඛ්‍ය අංශවලට නැහැ. නමුත් ප්‍රාදේශීය ලේකම්වරුන් හා ප්‍රදේශයේ දානපතියන් සමග එකතු වෙලා ඒ ජල මූලාශ්‍රත් පිරිසුදු කර දීමට අපි අදහස් කරනවා. ළිංවල තියෙන අවසාන වතුර ටික පවා හිස් කර ගැනීමෙන් පසුවයි ක්ලෝරීන්කරණය කරන්නේ. ගංවතුරට පෙර පානීය ජලය ලබා ගත් ළිං අපිරිසුදු වෙලා තියෙනවා නම් ඒවා නැවත පිරිසුදු කරලා, ජල සාම්පලයක් තත්ත්ව පරික්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව ඒ ජලය පරිභෝජනයට ගන්නවා නම් වඩාත් සුදුසුයි. ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සහය ලබා ගන්න පුළුවන්.
ඒ වගේම විශේෂයෙන් අවතැන් කඳවුරුවල සිටින ජනතාව හැකි පමණ මුව ආවරණ පැලඳීමට වගබලා ගන්නේ නම් එය වඩාත් යෝග්‍යයි කියලා මම යෝජනා කරනවා. මොකද මේ දිනවල තියෙන්නේ සීතල කාලගුණ තත්ත්වයක්. ඒ නිසා කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගකාරක වයිරස් පැතිර යාමේ හැකියාව ඉතාමත් ඉහළයි. කාට හරි එවැනි රෝගවල රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඒ පිළිබඳව නොසලකා ඉන්න එපා වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන්න කියන එකයි අපේ උපදේශය. මොකද දැන් මේ තියෙන සීත කාලගුණ තත්ත්වයත් එක්ක නියුමෝනියාව පැතිරීමේ බරපතළ අවදානමක් තියෙනවා. ආපදා තත්ත්වයන් වගේම මේ මොහොතේ විවිධ රෝග බෝවීමේ අවදානමක් තිබෙන බවත් මතක තබා ගැනීම අපි හැමෝගෙම සෞඛ්‍යයට හිතකරයි. බිඳිති මගින් බෝවිය හැකි ශ්වනස රෝගවලින් ආරක්ෂා වීමට මුව ආවරණයක් පැලදීම වැනි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සුදුසුයි කියලා අපි කියන්නේ ඒකයි. අවතැන් කඳවුරුවල රැඳී සිටියදී මුව ආවරණ ගන්නේ කොහෙන්ද කියලත් කාට හරි ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්. අපි සෑම අවතැන් කඳවුරකටම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් යොදවලා තියෙන්නේ. අවතැන් කඳවුරුවල සිටින අපේම ජනතාවට ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් නොමිලේම මුව ආවරණ ලබා ගන්න පුළුවන්. සමහර නිවෙස්වල හෝ නිවෙස්වලට යන මාර්ගවල තවදුරටත් ජලය රැඳී තිබෙනවා වෙන්න පුළුවන්. ඒ ජලය හරහා ගමන් කරනවා නම් හෝ ජලයේ බසිමින් නිවෙස් පිරිසුදු කරනවා නම් අනිවාර්යෙන්ම මී උණ වළක්වා ගැනීම සඳහා ලබා ගන්නා ඖෂධීය පෙති (Doxycycline) දෙකක් සතියකට වරක් ගන්න අමතක කරන්න එපා කියන පණිවිඩයයි අපිට ජනතාවට දෙන්න තියෙන්නේ. මොකද ගංවතුර හේතුවෙන් රට පුරාම මේ වන මී උණ රෝගය වසංගතයක් සේ පැතිර යනවා. මේ වන විටත් මී උණ රෝගීන් 10000ක් පමණ වාර්තා වෙනවා. අපි මීට කලින් වැඩියෙන්ම අවධානය යොමු කළේ කුඹුරු වැඩවල යෙදෙන, සත්ත්ව පාලන කටයුතුවල නිරත වන පුද්ගලයන් කෙරෙහියි. නමුත් දැන් අපි ආපදාවට ලක්ව සිටින සියලුමදෙනා කෙරෙහිත් දැඩිව අවධානය යොමුකරනවා. මී උණ වැලඳිය හැකි අවදානම් රැකියාවල නියුතුව සිටින පුද්ගලයන් වගේම එම රෝගය වැළඳිය හැකි අවදානමක් ඇතැයි සිතන පුද්ගලයන් ඒ අවදානම අවසන් වන තුරු සතියකට වරක් මී උණ සඳහා ලබා ගන්නා පෙති දෙක බැගින් ගත යුතුයි. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් සියලුම ජනතාවට ඒ ඖෂධ නොමිලේ ගන්න පුළුවන්. ඒ වගේම සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් හරහාත් ඒවා ගන්න පුලුවන්. මේ වන විටත් අවතැන් කඳවුරුවල සිටින ජනතාව සහ නිවෙස්වල හිරවී සිටින ජනතාවට මේ ඖෂධ ලබාදීම ආරම්භ කරලා තියෙන්නේ. ගංවතුර නොමැති ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය නම් ෆාමසියකින් මේ පෙති මිලදී ගන්න පුළුවන්. මිලිග්‍රෑම් 100ක පෙති දෙකක් සතියට වරක් ගැනීම ප්‍රමාණවත්. තදබල ස්නායු ආබාධ තිබෙන පුද්ගලයින්ට සහ වයස අවුරුදු 12ට අඩු දරුවන් හැරුණු කොට අනෙක් සෑම පුද්ගලයෙක්ටම මෙම ඖෂධය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගංවතුරට හසුවී සිටි පුද්ගලයකුට තදබල උණක්, සන්දිපත් වේදනාවක්, මස්පිඬු වේදනාවක් ඇති වෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියලත් අපි මතක් කරනවා. මොකද ඒ පෙන්නුම් කරන්නේ මී උණ රෝග ලක්ෂණ වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ ඩෙංගු වැනි රෝග තුරන් කිරීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ මහජනතාව අතේ. තමන් ජීවත්වන පරිසරය මේ වෙද්දී ස්වභාව ධර්මය විසින් පිරිසුදු කරලා දීලා තියෙනවා. ඒ පරිසරය තුළ මදුරුවන් බෝවන ස්ථාන නිර්මාණය නොකර පිරිසිදුව තබා ගන්න පුළුවන් නම් අපිට ඩෙංගු උවදුරෙන් ගැලවෙන්න පුළුවන්. කොහොම වුණත් ගංවතුර බැස ගියාට පසුව කුඩා දියකඩිති පරිසරය පුරා ඉතිරි වෙනවා. ඒ නිසා මේ මොහොතේ නැතත් තව සති දෙක තුනකින් විශාල වශයෙන් ඩෙංගු පැතිරීමේ අවදානමක් තියෙනවා. මොකද මදුරුවන් බෝවන්නේ කුඩා කුඩා දිය පිරුණු ස්ථානවලනේ. මේ වන විට නිවෙස්වලින් ගසාගෙන ගිය භාජන පරිසරයේ රැඳී තියෙන්න පුළුවන්. ඒවාට වතුර පිරිලා නැවැතත් ඩෙංගු මදුරුවන්ගේ රජදහන් නිර්මාණය වෙනවා. ඒ නිසා සෑම විටම තමන් අවට පරිසරය පිරිසුදුව තබා ගන්න කටයුතු කරන්න කියලයි අපි ජනතාවට මතක් කරන්නේ. සෞඛ්‍ය අංශත් මේ වෙද්දි ජල මූලාශ්‍ර පිරිසිදු කිරීම, කානු පද්ධතිය පිරිසුදු කිරීම ආදී කටයුතුවල නිරත වෙනවා. ඒ පිරිසුදු කිරීම්වලින් පවා මදුරුවන් බෝවීම විශාල වශයෙන් වළක්වා ගන්න පුළුවන්. මෙහිදී සෞඛ්‍ය අංශවලට ජනතාවගේ සහයෝගයත් අත්‍යාවශ්‍යයි. ඊට අමතරව ඇත්තටම ගංවතුරට හසුවූ පිරිසක් වගේම ගංවතුරට බැහැලා විනෝද වුණු පිරිසකුත් ඉන්නවා. ගංවතුර කියන්නේ සියලුම රෝග කාරකයන් මිශ්‍ර වුණු අපරිසුදු වතුර මිස පිරිසුදු ජලය නෙමෙයි. රෝහල්වලින් බැහැර කරන විෂබීජවලින් ගහන වූ අපද්‍රව්‍යත් ඒ වතුරේ අන්තර්ගතයි. ඒ වගේම වැසිකිළි පිටාර ගළලා එන අපද්‍රව්‍ය, කැළි කසළවලින් පිරුණු කානු පද්ධතීන්වලින් එකතු වුණ අපද්‍රව්‍ය ආදි සියලුම රෝගකාරක විෂබීජ ගංවතුරේ අන්තර්ගතයි. ඒ නිසා ගංවතුරට හසු වූ හෝ ගංවතුරේ විනෝද වූ පිරිසට විවිධ සමය රෝග ඇතිවීමේ අවදානමක් තියෙනවා. සමහර වෙලාවට සුව කිරීමට සැලකිය යුතු කාලයක් ගතවෙන දිලීර සමට ආසාදනය වෙන්නත් බැරිකමක් නැහැ."