ගොවින්ගෙන් රතු එළියක් - විසදුම් නොලැබුණොත් මහපාරට
තම සාධාරණ ඉල්ලීම්වලට කඩිනම් විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී කොළඹට පැමිණ දැවැන්ත විරෝධතාවල නිරත වන බව ගොවීන් ආණ්ඩුවට අනතුරු අඟවයි.
පොහොර හිඟය, අධික මිල සහ වී මිල පහත වැටීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවලට මුහුණදී ඇති බව ගලෙන්බිඳුණුවැව, දුටුවැව පරණගම ගැමුණු එක්සත් ගොවි සංවිධානය පෙන්වා දී තිබේ .
එම ගොවි සංවිධානයේ සභාපති කේ. හේමරත්න මහතා සඳහන් කරන්නේ කුඹුරු සඳහා අවශ්‍ය පොහොර වෙළෙඳපොළේ නොමැතිවීම සහ පවතින පොහොරවල මිල රුපියල් 9,000 සිට රුපියල් 18,500 දක්වා අධික ලෙස ඉහළ යාම තමන්ට කිසිසේත්ම දරාගත නොහැකි බවයි .
තවද වත්මන් වෙළෙඳපොළ තුළ වී කිලෝවක් රුපියල් 100-105 වැනි ඉතා අඩු මුදලකට අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ගොවිතැන සඳහා වැය කළ පිරිවැය පවා පියවා ගැනීමට නොහැකිවී ඇතැයි ගොවීහු මැසිවිලි නඟති.
මෙම අධික පිරිවැය සහ ලැබෙන අඩු ආදායම හේතුවෙන් වී ගොවීන් මෙන්ම එළවළු ගොවීන් ද ඉදිරියේදී ගොවිතැනෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමේ බරපතළ අවදානමක් මතුව ඇත .
ගොවි ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ පොහොර සහනාධාරය නිසි පරිදි කඩිනමින් ලබාදීමට සහ පොහොර මිල කඩිනමින් අඩු කිරීමට පියවර ගන්නා ලෙසයි ගොවීන් මුහුණ දෙන මෙම බරපතළ ගැටලුවලට බලධාරීන් කඩිනමින් මැදිහත් වී විසඳුම් ලබා නොදුනහොත්, එය ඉදිරියේදී මුළු රටේම ආහාර සුරක්ෂිතතාවයට දැඩි මෙන්ම සෘජු බලපෑමක් එල්ල කරනු ඇති බව ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කර තිබේ .