ගිනි ගත් නැව මුහුදු පත්ලේ ගැටේ (VIDEO)

navy colombo harbor express pearl Indika de Silva
By Sewvandhi Jun 02, 2021 02:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගිලෙමින් පැවති එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිටුපස කොටස මුහුදු පත්ලේ ගැටීම හේතුවෙන් එය ගැඹුරු මුහුදට ඇදගෙන යාම නතර කර තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියා සිටියේ නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වන විට නිරීක්ෂණය කරමින් පවතින බවයි.

නෞකාව මේ වන විට පවතින ස්ථානයේ ගැඹුර මීටර් 22ක්. නෞකාවේ උස මීටර් 54ක් වන අතර, එය මුහුදුබත් වුවද මුහුදේ ජල මට්ටමට වඩා මීටර් 32ක් පමණ ඉහළට නැවේ කොටස් දිස්වන බවයි වාර්තා වන්නේ. මීටර 186 ක දිගින් යුත් මෙම නෞකාව ඉන්දියාවේ හසීරා වරායේ සිට බහලුම් 1,486 ක් රැගෙන මෙරට මුහුදු සීමාවට පැමිණ නැංගුරම් ලා තිබියදී අදාළ ගින්න හටගනු ලැබුවේ පසුගිය 20 වනදායි.

ගින්න නිවීම සඳහා ඉන්දියාවේ වෙරළාරක්ෂක බලකාය සතු යාත්‍රා 3 ක් සහ ගුවන් යානයක්ද එක්වුණා. නෞකාව ගිනිගන්නා අවස්ථාවේ ඉන්ධන මෙටි්‍රක් ටොන් 322 ක් එහි තිබූ බවයි වාර්තා වූයේ.

ගින්න හටගැනීමත් සමඟ රුසියානු ජාතික කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 දෙනා ගොඩබිමට රැගෙන ආ අතර, ඊයේ කපිතාන්වරයාට, නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයාට සහ නියෝජ්‍ය ඉංජිනේරුවරයාට රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය නියෝගයක්ද නිකුත් කළා.

ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන්නේ ගිනිගත් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන ලෙසයි. ඒ, නෞකාව මුහුදුබත් වීමේ අවදානමක් පවතින බව නාවික හා පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයින් කළ කරුණු දැක්වීම් සැළකිල්ලට ගනිමින්.

ඒ අනුවයි අද පෙරවරුවේ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම ආරම්භ කෙරුණේ. යාත්‍රා කිහිපයක ආධාරයෙන් ඇදගෙන යාමේ කටයුතු සිදුකළ අතර, පස්වරු දෙකට පමණ නෞකාව නතර කෙරුණේ එහි පසු පස කොටස ගිලී ගොස් මුහුදු පතුලේ ගැටීම හේතුවෙනුයි. පවතින තත්ත්වය හමුවේ නාවික හමුදාවේ මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු පාර්ශව රැසකගේ අවදානය යොමුව ඇත්තේ යම් හෙයකින් එහි තෙල් කාන්දුවක් සිදුවන්නේ ද යන්න පිළිබදවයි.

එසේ වුවහොත් ඊට මුහුණදීම සඳහා ගින්න නිවීම සඳහා පැමිණි ඉන්දීය නෞකාවල සහය ද ලබා ගැනීමට අපේක්ෂා කරන බව නාවික හමුදාව සදහන් කළා. එසේම තෙල් විසුරුමක් සිදුවුවහොත් විසුරුම්කාරක ඉසීමේ පහසුකම් සහිත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සමාරක්ෂා නෞකාව, එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නයට යොමුකර තිබෙනවා.

නෞකාව මුහුදුබත් වුවද යළි කොළඹ වරායට පැමිණෙන නැව්වලට එය බාධාවක් නොවන බවයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ. මේ අතර, පවතින තත්ත්වය හමුවේ පානදුර සිට කොළඹ හරහා මීගමුව - කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ ධීවර කටයුතුවල නිරතවීම තහනම් කර තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු මෙම තහනම බලපැවැත්වෙන බවයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now