මුළු දිවයිනටම දරුණු අවදානමක් - දිස්ත්‍රික්ක 5ක්ම මේ වන විට අනතුරේ ලංකාව වටේම සිද්ධවෙන්න යන දේ මෙන්න
දිවයින පුරා පවතින අධික උෂ්ණත්වය සහ ගෝලීය 'එල් නිනෝ' දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතීන්ට දැඩි ලැව්ගිනි අවදානමක් මතුව තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්දිම පාලමකුඹුර මහතා හිරු ප්රවෘත්ති කළ විමසීමකදී ප්‍රකාශ කළේ පවතින වියළි කාලගුණයත් සමඟ බදුල්ල, මොණරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් මේ වන විටත් බහුලව වනාන්තර ගිනි ගැනීම් වාර්තා වන බවයි.
මෙම දිස්ත්‍රික්ක තුනට අමතරව ඉදිරි දිනවලදී අනුරාධපුරය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ද අධික උෂ්ණත්වය හේතුවෙන් වනාන්තර ගිනි ගැනීම් වාර්තා විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.
මේ අතර ලෝක උරුම නකල්ස් සංරක්ෂිතයේ හුන්නස්ගිරිය ප්‍රදේශයේ කොටසක් දින දෙකක් පුරා ගිනි ගෙන විනාශ වී ඇති අතර සේවා අංශවල දැඩි පරිශ්‍රමයකින් පසු මේ වන විට එම ගින්න පැතිරයාම සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.
ලොව පුරා රටවල් බොහොමයකට බලපා ඇති එල් නිනෝ තත්ත්වය මේ වන විට ශ්‍රී ලංකාවේ කාලගුණයට ද බලපෑම් කිරීම ආරම්භ කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සනාථ කරයි. එහි අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පෙන්වා දෙන්නේ ගෝලීය පුරෝකථනයන්ට අනුව දැනට දුර්වල අදියරක පවතින එල් නිනෝ තත්ත්වය, එළඹෙන ඔක්තෝබර් සහ දෙසැම්බර් කාල සීමාව තුළදී සියයට අසූවේ සීමාව ඉක්මවා යමින් වඩාත් සක්‍රීය විය හැකි බවයි.
පවතින මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් වනාන්තර ආශ්‍රිතව කටයුතු කිරීමේදී වඩාත් වගකීමෙන් සහ කල්පනාකාරීව කටයුතු කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.