එල්නිනෝ තත්ත්වය ලංකාවට දරුණු ලෙස බලපාන කාලය හෙළිදරව් කරයි
මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ කාලගුණයට බලපෑම් කළ හැකි ප්‍රබල එල්නිනෝ (El Nino) තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව සියයට 81ක් දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ, ජාත්‍යන්තර කාලගුණ පුරෝකථන ආයතන නිකුත් කළ නවතම දත්ත අනුව මෙම කාලගුණ සංසිද්ධිය වර්ධනය වීමේ පැහැදිලි ප්‍රවණතාවක් පවතින බවයි.
ඔහු සඳහන් කළේ එල්නිනෝ බලපෑම් මේ වන විටත් ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයන් තුළ දැකිය හැකි බවයි. ඒ අනුව සාමාන්‍යයෙන් මෙම කාලසීමාවේ ලැබෙන නිරිත දිග මෝසම් වර්ෂාපතනයේ අඩුවීමක් සහ දිවා කාලයේ උෂ්ණත්වය ඉහළ යාමක් වාර්තා වන බවද පැවසීය.
ඉදිරි මාසවල කාලගුණ තත්ත්වයන් වෙනස් විය හැකි බැවින් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිල කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳ නිරන්තර අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.