පතලක මැණික් ගලක් අස්ථානගත වීමේ සිද්ධියක් දුරදිග යයි - ඇහැලියගොඩ පොලිස් ලොක්කා ඇතුළට
පතලකින් අස්ථානගත වූ බව කියන මැණික් ගලක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමේදී අක්‍රමික ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ප්‍රේමලාල් සහ එවකට එම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂක නයනජිත් ඒකනායක යන නිලධාරීන් දෙදෙනාගේ සේවය පොලිස්පතිවරයා විසින් අත්හිටුවා තිබේ.
2026 ජුනි 9 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම වැඩතහනම් නියෝගය ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
අදාළ පැමිණිල්ලේ සත්‍යතාව නිසි ලෙස තහවුරු කර නොගෙන, පැමිණිලිකරුට පක්ෂපාතීව කටයුතු කරමින් විමර්ශන නීත්‍යානුකූලව සිදු නොකිරීම, පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීම, ඔවුන්ගෙන් එක් අයෙකු සතු මුදල් කොල්ලකෑම සහ අනෙක් පුද්ගලයා අයුතු ලෙස රඳවා තැබීම යන චෝදනා මෙම නිලධාරීන්ට එල්ල වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන ස්ථානාධිපතිවරයා ජුනි 3 වැනිදා ඇහැලියගොඩ පොලිස් ස්ථානය තුළදී රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, අනෙක් සැකකාර පොලිස් පරීක්ෂකවරයා ජුනි 8 වැනිදා එම ඒකකයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණි.
ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි එච්.එම්.එම්.එස්. චතුරංග බණ්ඩාර සහ මුසාර් හසන් යන පුද්ගලයින් දෙදෙනා විසින් පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් කොමිෂන් සභාව විසින් සිදු කළ දැනුම්දීමකට අනුව, පොලිස්පතිවරයාගේ උපදෙස් මත රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අදාළ නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇත.