VAT බදු සහ ඔන්ලයින් පනත ගැන තීරණාත්මක විවාද රැසක්- ජුනි 23 සිට පාර්ලිමේන්තුව උණුසුම් වන හැටි මෙන්න
පාර්ලිමේන්තුව ජූනි 23 සිට 26 දක්වා දින හතරක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් හංස අබේරත්න මහතා පවසයි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.
සෑම දිනකම පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය පාර්ලිමේන්තු කටයුතු සඳහාත්, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් වෙන් කර ඇත.
ජූනි 23 වන අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නිකුත් කළ නියමයන් දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි විවාදයට ගෙන අනුමැතිය ලබා ගැනීමට නියමිතය.
එදින පස්වරු 5.00ට පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත” ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් විවාදයක් නොපැවැත්වේ.
ඉන් අනතුරුව විපක්ෂය විසින් ඉදිරිපත් කරන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
ජූනි 24 වන බදාදා ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, පසුව සභාව කල්තැබීමේ අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
ජූනි 25 වන බ්‍රහස්පතින්දා ආණ්ඩු පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳ කල්තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතය. ජූනි 26 වන සිකුරාදා ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ නිකුත් කර ඇති නියමයක් අනුමැතිය සඳහා විවාදයට ගැනෙන අතර, ඉන් අනතුරුව මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳ කල්තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා තවදුරටත් පැවැත්වීමට නියමිතය.