"ඔව්, මම සල්ලි ගත්තා" - ලංකාවම රැවටූ ඩුබායි සුද්දා උසාවියේදී ඇත්ත වමාරයි
සංචාරක වීසා උපයෝගී කර ගනිමින් ශ්‍රී ලාංකිකයන්ට ඩුබායි සහ මෝල්ඩෝවා රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන නොහොත් “ඩුබායි සුද්දා” අධිකරණයේදී තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිගෙන තිබේ.
ජූනි 16 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු මෙම වරද පිළිගත් බව වාර්තා වේ.
සංචාරක වීසා මගින් ඩුබායිහි රැකියා ලබාදෙන බව පවසමින් කුලියාපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන, පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදීම සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා පුද්ගලයන් බඳවා ගැනීමට උත්සාහ කිරීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ.
ඒ අනුව, අගතියට පත් පුද්ගලයාට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් අධිකරණයේ තැන්පත් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.
මෙම නඩුව යළි සලකා බැලීම සඳහා 2026 අගෝස්තු 25 වැනිදා දක්වා කල් තබා ඇති අතර, ඔහුට එරෙහිව ගොනු කර ඇති තවත් සමාන නඩුවක් ජූනි 26 වැනිදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතය.
මේ අතර, විදේශ රැකියා ලබාදෙන බව පවසා සිදුකරන මෙවැනි වංචා සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.