අද සහ හෙට විවෘතව තබන ප්‍රධාන ස්ථානය මෙන්න..
අද (24) සහ හෙට (25) යන දෙදින තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ තොග වෙළෙඳාම සඳහා පමණක් මෙම දින දෙක තුළ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවය.
ඒ අනුව ගොවීන්ට සිය අස්වැන්න අද සහ හෙට යන දෙදින තුළ ආර්ථික මධයස්ථාන වෙත රැගෙන ඒමට හැකියාව පවතින බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳුන් සඳහා අද දිනයේ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කරයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කිසිම ජංගම වෙළෙන්දෙකුට මාර්ග අසල තබාගෙන වෙළෙඳාම් කිරීම තහනම් බවය. තමන්ට නියමිත ප්‍රදේශයෙන් බැහැරව වෙළෙඳාම් කටයුතුවල යෙදෙනෙ වෙළෙඳුන් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.
වැඩි මිලට සහ අඩු බරට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් වැටලීම සඳහා පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර,නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 639 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 57,435කි. මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන 1,369ක් සහ පුද්ගලයන් 2,284ක් පරීක්ෂාවට ලක්කර තිබේ.
එමෙන්ම,මෙරට දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේ ද හාරදහසේ සීමාව ඉක්මවා ගියා. ඊයේ අලුතින් ආසාදිතයන් 4353ක් වාර්තා වූ අතර, ඒ අනුව මේ දක්වා මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 394,355ක් ලෙසයි.
එමෙන්ම තවත් කොරෝනා මරණ 194ක් පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඉන් 91 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර, 103 දෙනෙකු කාන්තාවන්. මෙම 194 දෙනාගෙන් 145 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වනවා. 49 දෙනෙකු 30ත් 59ත් අතර වයසේ පසුවන්නන් බවට යි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 2,222ක් සුවය ලබා රෝහල්වලින් ඊයේ පිටව ගියා. ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 344,381ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියනයක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.
චීනයේ බිජිං නුවර සිට එන්නත් තොගය රැගත් ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යානය අද අලුයම 5යි 9ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගා වූ බවට යි හිරු ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ. සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් මේ මස අග දී මෙරටට ලැබීමට නියමිත බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.
එමෙන්ම, කොරෝනා වෛරසයට එරෙහි ඉහළ ම ප්‍රතිචාරයක් දක්වන ෆයිසර් - බයෝඑන්ටෙක් කොරෝනා එන්නත සඳහා ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ පුර්ණ අනුමැතිය හිමි වී තිබෙනවා. එෆ්.ඩී.ඒ හෙවත් ඇමරිකානු ඖෂධ නියාමනය එහි හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නේ පසුගිය දෙසැම්බරයේදි යි.
එමඟින් , පුර්ණ අනුමැතිය ලබා දුන් පළමු කොරෝනා එන්නත ද ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත යි.
මේ අතර පසුගිය සිකුරාදා රාත්‍රී 10 සිට මුළු දිවයිනට ම ක්‍රියාත්මක වන පරිදි පැන වූ නිරෝධායන ඇඳිරිනීතිය ලබන සඳුදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |