සියලුම කාන්තා සේවිකාවන්ට iPhone තෑගි කළ ප්‍රධානියා - ඩුබායි සංවේදී කළ අපූරු සිදුවීමක්!
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක සේවය කරන සියලුම කාන්තා සේවිකාවන්ට නවතම iPhone Duo දුරකථන තෑගි කිරීමට එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය කටයුතු කර තිබේ.
මෙම අපූරු තෑගි දීමේ අවස්ථාව දැක්වෙන වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ජනප්‍රිය වී ඇති අතර, එය Instagram ඔස්සේ මිලියන දෙකකට අධික පිරිසක් නරඹා තිබේ.
කේරළ ප්‍රාන්තයේ උපත ලැබූ හසීනා නිෂාද් නමැති මෙම කළමනාකාර අධ්‍යක්ෂවරිය සිය සේවිකාවන්ට මෙම පුදුම තෑග්ග ලබාදීමට සැලසුම් කර තිබුණේ ඔවුන්ට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරවය.
ඒ අනුව සේවිකාවන් සියලුදෙනා සම්මන්ත්රණ කාමරයකට කැඳවා අසුන් ගන්නා ලෙස දැනුම් දී තිබේ. එහිදී මේස යට පුටු මත තබා තිබූ අලංකාර තෑගි පෙට්ටි දුටු සේවිකාවන් ඒවා විවෘත කිරීමත් සමඟ තමන්ට ලැබී ඇත්තේ නවතම iPhone දුරකථන බව දැක දැඩි සතුටට පත්ව තිබේ.
මෙම තෑගි ප්රදානයේ වඩාත් සංවේදී අවස්ථාවක් බවට පත්ව ඇත්තේ එම ආයතනයේ පිරිසිදු කිරීමේ අංශයේ සේවය කරන කාන්තාවකටද iPhone දුරකථනයක් තෑගි කිරීමයි.
ඇය හසීනා නිෂාද් මහත්මියට ෂර්බත් පානය පිළිගන්වන අවස්ථාවේදී ඇයටද මෙම තෑග්ග ලබාදී තිබේ.
එම අනපේක්ෂිත තෑග්ගෙන් දැඩි ලෙස සංවේදී වූ ඇය, හසීනා නිෂාද් මහත්මිය වැළඳගෙන කඳුළු සලන අයුරුද වීඩියෝවේ දැක්වේ.
මෙම වීඩියෝව Instagram වෙත එක්කරමින් හසීනා නිෂාද් සඳහන් කර ඇත්තේ සෑම කාන්තාවකටම තමන්ගේම සිහින, වගකීම් සහ අභියෝග පවතින බවයි.
කාන්තාවන් තවදුරටත් ශක්තිමත් වී, ආත්මවිශ්වාසයෙන් යුතුව තම සිහින සැබෑ කරගනු දැකීම තම අපේක්ෂාව බවද ඇය සඳහන් කර තිබේ.
එක් කාන්තාවක් සාර්ථකත්වයට පත්වීම තවත් කාන්තාවකට ඉදිරියට යාමට ධෛර්යයක් ලබාදෙන බවද ඇය සිය සටහනේ වැඩිදුරටත් දක්වා ඇත.
මෙම සමාගම සිය සේවකයින්ට වටිනා තෑගි ලබාදෙන පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර සැප්තැම්බර් 24 වැනිදා ද එවැනිම තෑගි ප්‍රදානයක් සිදුකර තිබේ.
එහිදී සමාගමේ හිමිකරු වන නිෂාද් හුසේන් විසින් සේවකයින්ට iPhone දුරකථන තෑගි කරන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණි.
මෙම සිදුවීම් දෙකම සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ අවධානය දිනාගෙන ඇති අතර, විශේෂයෙන්ම පිරිසිදු කිරීමේ අංශයේ සේවිකාවද මෙම තෑගි ප්‍රදානයට ඇතුළත් කර ගැනීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.