ගෝලීය කොටස් වෙළෙඳපොළ හොල්ලමින් ඩොලර් ට්‍රිලියන 2.5ක් අළු වෙයි - අමෙරිකානු මැතිවරණයෙන් පසු AI සමාගම්වල කොටස් මිල දැවැන්ත ලෙස කඩා වැටෙයි
අමෙරිකානු මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලත් සමඟ කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්රයේ වර්ධනය මන්දගාමී විය හැකි බවට මතුව ඇති ආයෝජක බිය හේතුවෙන් ලොව ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් රැසක කොටස් මිල දැවැන්ත ලෙස පහත වැටී තිබේ.
ඒ සමඟ ගෝලීය කොටස් වෙළෙඳපොළේ ඩොලර් ට්‍රිලියන ගණනක වෙළෙඳපොළ වටිනාකමක් අහිමි වී ඇති බව වාර්තා වේ. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම ප්‍රධාන මැතිවරණ ප්‍රතිපත්තියක් කරගත් ඩිමොක්රටික් පක්ෂය ලැබූ ජයග්‍රහණයත් සමඟ තාක්ෂණික සහ AI ක්ෂේත්රයට සම්බන්ධ සමාගම්වල කොටස් මිල මෙලෙස පහත වැටී ඇත.
මෙම පසුබෑම හමුවේ අමෙරිකාවේ Nasdaq කොටස් දර්ශකය සියයට 5.5කට වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇති අතර, Dow Jones දත්තවලට අනුව සමස්ත වෙළෙඳපොළ වටිනාකමෙන් අහිමි වී ඇති ප්‍රමාණය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.5ක් පමණ වේ.
අමෙරිකාවේ අනෙකුත් ප්‍රධාන කොටස් දර්ශක ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, මෙම පසුබෑම 2025 වසරෙන් පසු වාර්තා වූ විශාලතම එක්දින වෙළෙඳපොළ කඩා වැටීම් අතරට එක්ව තිබේ.
මේ අතර, AI තාක්ෂණය වෙනුවෙන් සමාගම් සිදුකරන දැවැන්ත ආයෝජනවලින් අපේක්ෂිත ප්රතිලාභ ලැබේද යන්න පිළිබඳව ආයෝජකයන් තුළ කලක සිට පැවති සැකසංකා ද මෙම කොටස් වෙළෙඳපොළ පසුබෑමට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ ඇති වූ මෙම කඩා වැටීමේ බලපෑම ආසියානු වෙළෙඳපොළ වෙත ද පැතිර ගොස් තිබේ. විශේෂයෙන්ම AI තාක්ෂණය සඳහා අවශ්‍ය පරිගණක චිප් සහ අනෙකුත් අර්ධ සන්නායක උපාංග නිෂ්පාදනය කරන ආසියානු සමාගම්වල කොටස් මිල දැඩි ලෙස පහත වැටීම ඊට හේතු වී ඇත.
ඒඅනුව අද (06) උදෑසන වනවිට ආසියාවේ ප්‍රධාන තාක්ෂණික කොටස් දර්ශක රැසක් කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. ජපානයේ Nikkei 225 දර්ශකය සියයට 6කින් පහත වැටුණු අතර, එරට ප්රමුඛ මතක චිප් (Memory Chip) නිෂ්පාදකයෙකු වන Kioxia සමාගමේ කොටස් මිල සියයට 12.6කට වැඩි ප්‍රමාණයකින් ද, Tokyo Electron සමාගමේ කොටස් මිල සියයට 9.5කින් ද පහත වැටී ඇත.
එමෙන්ම දකුණු කොරියාවේ Samsung සමාගමේ කොටස් මිල සියයට 10කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති අතර, එරට Kospi කොටස් දර්ශකය ද සියයට 8.5කට වැඩි ප්‍රමාණයකින් කඩා වැටී තිබේ.
මෙම තත්ත්වය හමුවේ කොටස් වෙළෙඳාම තාවකාලිකව අත්හිටුවීම සඳහා භාවිත කරන 'Circuit Breaker' ක්‍රමවේදය ද ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට සිදුව ඇත.
මේ අතර තායිවානයේ Taiex කොටස් දර්ශකය සියයට 8.3කට වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇති අතර, ලොව ප්‍රමුඛතම අර්ධ සන්නායක නිෂ්පාදකයෙකු වන TSMC සමාගමේ කොටස් මිල ද සියයට 8.5කින් පමණ පහත වැටී තිබේ.
MarketWatch හි වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සමාගම් දරන අධික පිරිවැය සහ ඒ සඳහා සිදුකරන දැවැන්ත ආයෝජනවල දිගුකාලීන ප්රතිලාභ පිළිබඳ ආයෝජකයන් තුළ පවතින අවිනිශ්චිතතාව මෙම වෙළෙඳපොළ කඩා වැටීම හරහා යළිත් ඉස්මතු වී ඇති බවයි.