කෝටි 10කට වැඩි කුෂ් සමඟ දෙදෙනෙක් ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට
කටුනායක ගුවන්තොටුපොළේදී රුපියල් කෝටි 10කට වැඩි වටිනාකමකින් යුත් "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (26) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සැකකරුවන් දෙදෙනා ගමන් මලු හතරක ව්‍යාජ පතුල් සකස් කර ඒවා තුළ "කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.476 (පැකැට් 12ක්) සඟවා ගෙන ආ බව අනාවරණය වී තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 10.46 ලෙස ගණනය කර තිබේ. සැකකරුවන් දෙදෙනාම බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, එක් අයෙකු 25 හැවිරිදි රෙදි අලෙවිසැළක සේවකයෙකු වන අතර අනෙකු 26 හැවිරිදි රියදුරෙකු ලෙස සේවය කරයි.
ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, ඉන්දියාවේ නවදිල්ලි හරහා ඉන්දීය ගුවන් සේවයේ AI-3203 ගුවන් යානයෙන් අද අලුයම 5.20ට කටුනායකට පැමිණ ඇත.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබේ.