ඉරානේ බොරු කිව්වොත් වැඩ වරදී - හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ හොර්මූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකාවලින් කිසිදු ආකාරයක බදු මුදලක් රක්ෂණ ගාස්තුවක් හෝ වෙනත් කිසිදු අයකිරීමක් ඉරානය විසින් අපේක්ෂා නොකරන බව හෝ ලබාගෙන නොමැති බව ඉරානය විසින් දැනුවත් කල බවයි.
එමෙන්ම කලබලකාරී වාතාවරණයක් මවනු ලබන ව්‍යාජ පුවත් මඟින් මීට පටහැනිව වාර්තා කර තිබුණද, ඉරානය විසින් තමන් වෙත මෙම සහතිකය ලබා දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සටහනෙන් පවසා සිටියේය.
නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානය විසින් ලබා දී ඇති මෙම තොරතුර අසත්‍යයක් බව හෙළි වුවහොත්, දෙරට අතර දැනට පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානය වෙත කිසිදු මුදලක් ලබා දී හෝ ඔවුන්ට අයත් කිසිදු මුදලක් නිදහස් කර නොමැති බවත් මේ වන විට සම්පූර්ණයෙන්ම අමෙරිකානු පාලනය යටතේ පවතින ඉරානයට අයත් මුදල්වලින් කොටසක්, අමෙරිකානු ගොවීන් සහ පශු සම්පත් පාලකයින් වෙත නිදහස් කිරීමට පියවර ගන්නා බවත්ය.
එම මුදල් භාවිත කරමින් අමෙරිකානු ගොවීන්ගෙන් බඩඉරිඟු, තිරිඟු සහ සෝයා බෝංචි ඇතුළු තවත් කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීමට නියමිතයි. මේ වන විට ඉරානය තුළ දැඩි ආහාර හිඟයක් පවතින අතර, ඔවුන් වෙනුවෙන් මෙම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සුවිශේෂී ලෙස අමෙරිකා එක්සත් ජනපදයෙන්ම පමණක් සිදු කරන බව ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත.