ඩොලර් නෑ.. අවශ්‍ය ආහාර ඖෂධ නැවේ හිරවේ.. දින කිහිපයකින් රටට ඇතිවෙන අර්බුදය මෙන්න

sri lanka Ship
By Sithumi Dec 11, 2021 12:26 PM GMT
Sithumi

Sithumi

Report

රට තුළ ඇති වී තිබෙන උග්‍ර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම හෝ නොයාම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් මීළඟ කැබිනට් මණ්ඩලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ

. කැබිනට් මණ්ඩලය ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පැවැත්වීමට තීරණය වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම පිළිබඳව ආණ්ඩුව තුළ මත දෙකක් ඉදිරිපත් වී ඇති අතර පිරිසක් අදහස් දක්වා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම මගින් විවිධ කොන්දේසි වලට යටත් වීමට සිදු වන බවයි.

නමුත් අනෙක් පිරිස පෙන්වා දෙන්නේ ඩොලර් හිගයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යා යුතු බවයි. ඒ අනුව මෙම කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

මෙම හමුව සඳහා මහ බැංකු අධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද කැඳවා තිබේ. දැනට රට තුළ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් වශයෙන් වියදම් කිරීමට හැකියාව ඇත්තේ ඩොලර් මිලියන 1100ක් පමණ වන අතර එය ප්‍රමාණවත් වන්නේ මෙරට සති දෙකක පමණ ආනයන වියදම් වෙනුවෙන් පමණි

එමෙන්ම මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙමින් ඇති බවට අනතුරු ඇඟවෙමින් තිබේ. ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මුදාහරින්නට රාජ්‍ය මූල්‍ය ආයතන අපොහොසත් වීම නිසා මෙම තත්වය උදා වෙමින් ඇත.

රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හිඟතාවයක් ලබන වසර ආරම්භ වන විට ඇතිවිය හැකිව තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ ආනයනය කිරීමට අදාළ කටයුතු අවසන් කර මිල ගණන් ඉදිරිපත් කළ ආයතන පවරා ඇතත් ණයවර ලිපි විවෘත කිරීම සඳහා බැංකු මගින් ඩොලර් නිකුත් නොකිරිම හේතුවෙන් මෙම තත්ත්වය වඩාත් බරපතළ වී ඇත. 

 අභ්‍යන්තර තොරතුරු අනුව දැනට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඖෂධ වර්ග 75 කට අදාළව ණයවර ලිපි නිකුත් කර ගත නොහැකිව ඖෂධ නීතිගත සංස්ථාව බරපතළ ගැටලුවකට මුහුණපා සිටී. මේ වන විටත් ඖෂධ සහ ශල්‍ය උපකරණ ආදිය කොළඹ වරාය තුළ විශාල ප්‍රමාණයක් සිර වී ඇත්තේ ඒවා නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් ලබාදීමට ඇති නොහැකියාව හේතුවෙනි.

විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ ඖෂධ ගෙන්වීමට ඩොලර් ප්‍රශ්නය තදින් බලපා ඇති බව සත්‍යයක් බවයි. නමුත් ඖෂධ ගෙන්වා ගැනීමට බැංකු වලින් ඩොලර් මුදා හැරීමට දැනටමත් මුදල් අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබෙන බවද පැවසූ ඔහු ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය පියවර යොදා තිබෙන බවද සඳහන් කළේය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500 ට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගැනීමට නොහැකිව කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති. ඩොලර් හිගතාවය හේතුවෙන් මුදල් ගෙවා ඒවා නිදහස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. මේ හේතුව මත එළඹෙන උත්සව සමයේ දී පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිගයක් ඇති වුණු ඇතැයිද ආනයනකරු කියා සිටිති.

අර්තාපල්, බීළුණු, මිරිස්, පරිප්පු, කඩල, කුළුබඩු ඇතුළු විවිධ ආහාර ද්‍රව්‍ය රැසක් මෙම කන්ටේනර් වල අඩංගුව ඇතැයි ද පවසන ඔවුන් මේවායේ වටිනාකම ඩොලර් මිලියන 150ක් 200ක් අතර බව ද සඳහන් කරති


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now