මෙට්‍රෝ දුම්රිය දොරටුත් වැසෙයි - දිල්ලිය උණුසුම් කරමින් විරෝධතාකරුවන් 400ක් අත්අඩංගුවට

By Malith Madushan Oct 10, 2026 03:48 AM GMT
Report

ඉන්දියාවේ දිල්ලි නුවර පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතාවක් හේතුවෙන් ආරක්ෂක විධිවිධාන දැඩි කර ඇති අතර, මේ වන විට පුද්ගලයින් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

විරෝධතාවට පෙර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය සහ මධ්‍යම සන්නද්ධ පොලිස් බලකායේ සාමාජිකයින් 20,000කට වැඩි පිරිසක් යෙදවීමට ද බලධාරීන් සැලසුම් කර ඇත.

ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ග්‍යානාෂ් කුමාර්ට එරෙහිව කොක්‍රෝච් ජනතා පක්ෂය (Cockroach Janta Party - CJP) විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.

එය දිල්ලියේ ජන්තර මන්තර ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත වුවද, ඒ සඳහා පොලිසිය අවසර ලබාදී නොමැත. විරෝධතාව හේතුවෙන් ජනතාවගේ දෛනික ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, දිල්ලි මෙට්‍රෝ දුම්රිය ස්ථාන 45ක ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටු වසා තැබීමට ද පියවර ගෙන තිබේ.

දුම්රිය 250කට වැඩි සංඛ්‍යාවක් අවලංගුයි

විරෝධතාවට පෙර ආරක්ෂක පියවරක් ලෙස සෙනසුරාදා අලුයම 4 සිට පස්වරු 2 දක්වා නවදිල්ලි සහ හස්රත් නිසාමුදීන් දුම්රිය ස්ථාන වෙත පැමිණීමට නියමිතව තිබූ ප්‍රාන්ත අතර ධාවනය වන දුම්රිය සහ දේශීය දුම්රිය ඇතුළු දුම්රිය 250කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර තිබේ.

එමෙන්ම, රාජීව් චෝක්, නවදිල්ලි, සෙන්ට්‍රල් සෙකට්‍රේරියට්, පටෙල් චෝක් සහ කාශ්මීරි ගේට් ඇතුළු ප්‍රධාන මෙට්‍රෝ දුම්රිය ස්ථාන 45ක ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු වසා තැබීමට නියමිතය.

ජන්පත් සහ කර්තව්‍ය පථ මංසන්ධිය ආශ්‍රිත කිලෝමීටර් හතරක පමණ ප්‍රදේශයක අන්තර්ජාල සේවා ද පැය 24ක කාලයක් සඳහා අත්හිටුවා තිබේ. එම අත්හිටුවීම සිකුරාදා රාත්‍රී 10ට ආරම්භ කර ඇත.

සංවේදී ස්ථානවල කැමරා 300කට වැඩි සංඛ්‍යාවක්

විරෝධතාව පාලනය කිරීම සඳහා දිල්ලි පොලිසිය විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, ජන්තර මන්තර, ජන්පත්, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය සහ දිල්ලි පොලිස් මූලස්ථානය ඇතුළු සංවේදී ස්ථාන ආවරණය වන පරිදි කිලෝමීටර් 1.5ක පමණ ප්‍රදේශයක් දැඩි ආරක්ෂක කලාපයක් ලෙස හඳුනාගෙන ඇත.

එම ප්‍රදේශය තුළ ආරක්ෂක නිලධාරීන් 6,500කට වැඩි පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා නවදිල්ලි දිස්ත්‍රික්කයේ සංවේදී ස්ථානවල ශ්‍රව්‍ය පටිගත කිරීමේ පහසුකම් ද සහිත CCTV කැමරා 300කට වැඩි සංඛ්‍යාවක් සවිකර තිබේ.

ජන්තර මන්තර වෙත පිවිසෙන මාර්ගයේ ආරක්ෂක වැටවල් ස්ථර හතක් යොදා ඇති අතර, ඒවා අතරින් ඇතැම් වැටවල් එකිනෙකට වෑල්ඩින් කර සවි කර තිබීම විශේෂත්වයකි.

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”

විරෝධතාවට සහභාගී වන්නන්ට පොලිසියෙන් අනතුරු ඇඟවීම්

විරෝධතාව සඳහා අවසර ලබාදී නොමැති බව දැනුම් දෙමින් සංවේදී ස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර ද සවිකර තිබේ.

ජනතාවට ඒකරාශී නොවන ලෙසත්, මහජන දේපළවලට හානි කිරීමෙන් සහ පොලිස් නිලධාරීන්ට පහරදීමෙන් වළකින ලෙසත් එමඟින් දැනුම් දෙනු ලබයි.

විරෝධතාවට සහභාගී වීම සඳහා දිල්ලියට පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇති බවට ද අනතුරු අඟවා තිබේ.

නවදිල්ලි සහ මධ්‍යම දිල්ලි ප්‍රදේශවල හෝටල් හා නවාතැන්පොළ පරීක්ෂා කිරීම ද ආරම්භ කර ඇති අතර, විරෝධතාවට සහභාගී වීමට පැමිණෙන බවට සැක කෙරෙන පුද්ගලයින් පිළිබඳව පොලිසිය දැනුවත් කරන ලෙස නවාතැන් සපයන්නන්ට උපදෙස් දී ඇත.

පොලිස් ක්‍රියාකාරකම් පටිගත කිරීමටත් පියවර

පසුගිය විරෝධතාවලදී පොලිස් නිලධාරීන් අනිසි ලෙස බලය භාවිත කළ බවට එල්ල වූ චෝදනා සැලකිල්ලට ගනිමින්, මෙවර විරෝධතාවේ සිදුවීම් සවිස්තරාත්මකව පටිගත කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව, අතිරේක පොලිස් කොමසාරිස් තනතුරේ නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ශරීරයට සවිකරන කැමරා (Body Cameras) ලබාදී ඇත.

එමෙන්ම, සිදුවීම් සහ පොලිසියේ ප්‍රතිචාර පටිගත කිරීම සඳහා ඡායාරූප ශිල්පීන් සහ වීඩියෝ ශිල්පීන් සිය ගණනක් ද යොදවා තිබේ.

විරෝධතාවේදී සිදුවන සිදුවීම් පිළිබඳ නිවැරදි සාක්ෂි ලබාගැනීම, නොමඟ යවන ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්වීම සහ අවශ්‍ය වුවහොත් විමර්ශන සඳහා දර්ශන භාවිත කිරීම මෙහි අරමුණ බව වාර්තා වේ.

එමෙන්ම, පොලිස් නිලධාරීන් ද පවුල්වලට ආදරය කරන සාමාන්‍ය මිනිසුන් බව සිහිපත් කරමින්, සියලු පාර්ශ්වයන් සංයමයෙන් සහ මානුෂීයව කටයුතු කරන ලෙස ඉල්ලා දිල්ලි පොලිසිය විවෘත ලිපියක් ද නිකුත් කර තිබේ.

රියාද් ගුවන්තොටුපළට හවුති මිසයිල ප්‍රහාරයක් - සෞදියා ගුවන් නියමුවෙකුට අවාසනාවන්ත ඉරණමක්

රියාද් ගුවන්තොටුපළට හවුති මිසයිල ප්‍රහාරයක් - සෞදියා ගුවන් නියමුවෙකුට අවාසනාවන්ත ඉරණමක්