මහරගම අපේක්ෂා රෝහලට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විශේෂ මැදිහත්වීමක් - රෝගීන්ට සැනසිලිදායක ආරංචියක්
මහරගම අපේක්ෂා රෝහලේ වත්මන් මෙහෙයුම් කටයුතු, රෝගී සත්කාර සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ කළමනාකරණ සමාලෝචන රැස්වීමක් රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී රෝහලේ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පරිපාලන කටයුතු විධිමත් කිරීම සහ රෝගී සත්කාර සේවා තවදුරටත් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
රජයේ රෝහල්වල පරිපාලන කටයුතු විධිමත් කරමින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් රෝහල් මට්ටමින් මෙවැනි කළමනාකරණ සමාලෝචන රැස්වීම් පැවැත්වේ
අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ට සැලසුම්සහගත වැඩපිළිවෙළක් යටතේ අඛණ්ඩ ප්‍රතිකාර සේවාවක් සහතික කිරීම මෙවර රැස්වීමේ ප්‍රධාන අරමුණක් විය. යටිතල පහසුකම් සහ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට අවධානය රෝහලේ මෙතෙක් ලබා ඇති ප්‍රගතිය මෙන්ම කඩිනමින් විසඳුම් ලබාදිය යුතු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.
රෝහල් පරිශ්‍රයේ ඉඩකඩ උපරිම කාර්යක්ෂමතාවයකින් ප්‍රයෝජනයට ගනිමින්, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ (CECB) සහාය ඇතිව ඉදිරි දිගුකාලීන අවශ්‍යතාවලට ගැළපෙන නව ප්‍රධාන සැලසුමක් (Master Plan) සකස් කිරීමේ අවශ්‍යතාව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම, රෝහලේ ඉදිකෙරෙමින් පවතින නව ළමා වාට්ටු සංකීර්ණය ඇතුළු සායනික ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි. විකිරණ ප්‍රතිකාර අංශයේ සේවා පුළුල් කරමින් රෝගීන්ගේ පොරොත්තු ලේඛන අවම කිරීම සඳහා CT සිමියුලේටර් පහසුකම් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ව්‍යාපෘතිය යටතේ ලැබීමට නියමිත නව LINAC විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය බංකර් ඉදිකිරීම් කඩිනම් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
ඖෂධ සැපයුම් සහ මානව සම්පත් ශක්තිමත් කිරීම රෝහලේ සායන සහ වාට්ටු සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම ද රැස්වීමේ ප්‍රධාන මාතෘකාවක් විය.
ඒ අනුව, වෛද්‍ය සැපයුම් අංශය (MSD) සමඟ මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීම, අවශ්‍ය අවස්ථාවල හදිසි මිලදී ගැනීම් සිදු කිරීම සහ ඖෂධ සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.
රෝහලේ සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, විකිරණ ශිල්පීන්, ඖෂධවේදීන් සහ සෞඛ්‍ය කාර්ය සහායකයින් ඇතුළු කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන සැලසුම්සහගත වැඩපිළිවෙළ යටතේ අවශ්‍ය කාර්ය මණ්ඩලය ක්‍රමානුකූලව ලබාදීමට පියවර ගන්නා බව මෙහිදී සඳහන් විය. එමෙන්ම, මෙම සති අන්තයේදී සෞඛ්‍ය කාර්ය සහායකයින් සඳහා නව පත්වීම් ප්‍රදානය කිරීමට නියමිත බැවින්, එම පත්වීම්වලින් කොටසක් අපේක්ෂා රෝහලට ලබාදීමට ද කටයුතු කරන බව පෙන්වා දෙන ලදී.
ඩිජිටල්කරණය සහ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම රෝහලේ දෛනික සේවා කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා වායු සමීකරණ පද්ධති, වෛද්‍ය උපකරණ, ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සහ අන්තර්ජාල පහසුකම් ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඊට අමතරව, කාර්ය මණ්ඩලයේ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.
අපේක්ෂා රෝහලේ රෝගී ප්‍රතිකාර සේවා වඩාත් විධිමත් හා කාර්යක්ෂම කරමින් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය පියවර අඛණ්ඩව ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.