ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම අරඹයි. ..
පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විශය පථය යටතේ ඇති වැවිලි කලාප සඳහා වන නව ගම්මාන සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ප්‍රතිංස්කරණ කොමිෂන් සභාව එක්ව, කඳුකර ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.
මෙම වැඩසටහන යටතේ කඳුකර පවුල් 214ක් වෙත ඉඩම් හිමිකම් ලබාදීම පසුගිය 8 වැනි පෙරවරුවේ එම අමාත්‍යංශයට අයත් ඇල්කඩුව වතු සමාගමට අයත් රත්වත්ත වතු යායේදී සිදුව තිබේ.
මෙම මූලික ඔප්පු ප්‍රමාණය නුවරඑලිය, මහනුවර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කයන් හී ඉඩම් හිමිකම් ඔප්පු 1291ක් බෙදා හැරීමේ පුළුල් සැලැස්මේ කොටසකි.
ඉතිරි ඉඩම් හිමිකම් ඔප්පු 1049 ඉදිරි දිනවලදි බෙදා හැරීමට නියමිත අතර වතුකරයේ සිටින සියලුම සුදුසුකම් ලත් පුද්ගලයින්ට ඔවුන්ගේ නීත්‍යානුකූල හිමිකම් ලැබෙන බව සහතික කිරීම මෙම වැඩසටහනින් සිදුවේ.
අමාත්‍යාංශය පවසන්නේ, වතු කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සමස්ත ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ඔවුන් නගා සිටුවීම සඳහා අවශ්‍ය නෛතික හා ආර්ථික සම්පත් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
මෙම අවස්ථාව සඳහා මහනුවර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් පී. සෝමරාජ් මහතා, ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති සිසිර විජේරත්න මහතා, වැවිලි කලාපය සඳහා වන නව ගම්මාන සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ටී.ඩී. බංගමුව මහත්මිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පද්මසිරි ලියනගේ මහතා ඇතුළු පිරික් සහභාගී විය.