අවුරුදු 24ක් පුරාවට යතුරුපැදියක් පදිමින් පැහැරගෙන ගිය පුතාව සොයන තාත්තා (PHOTOS)/(VIDEO)

China smuggling Guo Gangtang DNA test missing son
By Sewvandhi Jul 15, 2021 12:51 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කුඩා කාලයේදී පැහැර ගැනීමකට ලක්වූ තම පුත්‍රයා වසර 24කට පසු සොයාගත් පියෙක් පිළිබඳ චීනයේ ෂැන්ඩොන්ග් පළාතෙන් වාර්තා වනවා. 1997 වසරේදී කුඩා දරුවා සිය නිවස ඉදිරිපිට සිටියදීයි මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් විසින් ඔහු අලෙවි කිරීමේ අරමුණින් පැහැරගෙන ගොස් තිබුණේ.

එදින සිට මේ දක්වා තම දරුවා හමුවන තෙක් Guo Gangtang නම් පියා චීනය පුරා කිලෝමීටර් 500,000කට වැඩි දුර ප්‍රමාණයක් යතුරුපැදියෙන් ගොස් සොයාබලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. චීන මහජන ආරක්ෂක අමාත්‍යංශ තොරතුරුවලට අනුව මෙම දරුවා පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේවන විට යෞවන වියේ පසුවන තරුණයාගේ DNA පරීක්ෂණයකින් ඔහුගේ අනන්‍යතාව ද හෙළිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දරුවා අලෙවි කර මුදල් ලබාගැනීමේ අරමුණින් සැකකරුවන් කුඩා දරුවා පැහැරගෙන ඇතැයි හෙළිවී තිබෙනවා. නිවසේ ඉදිරිපස තනිව සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවා කාන්තාවක් විසින් පැහැරගෙන ප්‍රධාන බස් නැවතුම්පොලට රැගෙන ගොස් එහි සිටි අනෙක් සැකකරු ද සමග හෙනාන් ප්‍රාන්තයට ගොස් දරුවා අලෙවි කර තිබෙනවා.

තරුණ වියට එළඹ සිටින තම පුත්‍රයා හමුවීමෙන් පසු මෙම මව්පිය යුවළ ඔහු වැළඳගෙන හඬා වැටුනු ආකාරය ඉතා සංවේදී දසුනක් වූ බව සඳහන්. අතුරුදන්වූ පුත්‍රයා සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අනුව ඔහු සෙවීම සඳහා මෙම පියා යතුරුපැදියෙන් චීනයේ පළාත් 20කට වැඩි ප්‍රමාණයකට ගොස් ඇතැයි සඳහන්.

එම කාලසීමාව තුල යතුරුපැදි අනතුරකට ලක්ව ඔහු අස්ථි බිඳීමකට ද ලක්වී ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. එමෙන්ම කොල්ලකරුවන් පිරිසකට මැදිවී ජීවිතය බේරාගැනීමට ද ඔහු සමත්වුණා. පුත්‍රයා සෙවීමේ වසර 24ක ගමන්මග අතර ඔහුගේ යතුරුපැදි 10කට ද හානි සිදුවී තිබෙනවා.

සිය සංචාරය අතර පාලම් යට හෝ ගස්යට රාත්‍රී කාලය ගත කරමින් සිය පුත්‍රයාගේ කුඩා කළ ඡායාරූප ඇතුලත් පත්‍රිකා බෙදා දෙමින් පුත්‍රයා සෙවීමටයි මෙම පියා කටයුතු කර ඇත්තේ. පුත්‍රයා සෙවීමේ ඒකායන අරමුණින් යන ගමන අතර මුදල් නොමැතිවන අවස්ථාවලදී සිඟමනේ යෙදෙමින් මුදල් එක්රැස් කර ගත් බව ද ඔහු ප්‍රකාශකර තිබෙනවා.

මෙම උත්සාහය හේතුවෙන් චීනයේ අතුරුදන්වූවන් පිළිබඳ සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු බවට ද පත්වූ මෙම පියා පැහැර ගැණුනු වෙනත් දරුවන් 7 දෙනෙකු පමණ දෙමව්පියන් වෙත සොයාදීමට කටයුතු කිරීම විශේෂත්වයක්. මෙම දරුවා පැහැර ගැනීම පිළිබඳ 2015 වසරේ චීනයේ චිත්‍රපටයක් ද නිෂ්පාදනය කෙරුණු අතර හොංකොං නුවර ජනප්‍රිය නලුවෙක් පියාගේ චරිතයට පණ පොවා තිබුනා.

විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ ළමුන් පැහැර ගැනීම චීනයේ දැඩි ගැටළුවක්ව පවතින බවයි. සෑම වසරකම ළමුන් දහස් ගණනක් මිනිස් ජාවාරම්කරුවන් විසින් පැහැර ගන්නා බවයි අනාවරණ වී ඇත්තේ. දශක ගණනාවක සිට චීනය මෙම ගැටලුවට මුහුණදී සිටින අතර 2015 වසරේදී සිදුකළ සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ එක් වසරකදී පමණක් චීනයේ ළමුන් 20000කට වැඩි ප්‍රමාණයක් මිනිස් ජාවාරම්කරුවන් විසින් පැහැර ගන්නා බවයි. ඉන් වැඩි පිරිසක් හදාවඩා ගැනීම සඳහා චීනය තුල මෙන්ම වෙනත් විදෙස් රටවලට අලෙවි කරන බව ද සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery