වෛද්‍යවරුන් 209කට, හෙද හෙදියන් 1000කට,සෞඛ්‍ය පරීක්ෂකවරුන් 37කට කොරෝනා

covid19 infections vaccination channa jayasumana delta variety
By Sewvandhi Aug 19, 2021 09:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ මෙරට තුළ නව විකෘති ප්‍රභේදයන් පැතිර යාම පිළිබද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයේ වාර්තාව හෙට නිකුත් කිරීමට නියමිතයි. එම විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ ශල්‍ය ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ එම පර්යේෂණය අද පස්වරුව වන විට අවසන් කිරීමට නියමිත බවයි.

මෙරට පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද 3ක් හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පෙරේදා මුල්වරට අනාවරණ කළේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්. එස්.ඒ. 222 වී, එස්.ඒ. 701 එස් සහ එස්.ඒ. 1078 එස් වන ජාන කේතයන්ගේ වෙනසක් දැකිය හැකි බව නවත ම පර්යේෂණවලින් අනාවරණ වී ඇති බව එහිදී ඔහු කියා සිටියා.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 369,359ක් දක්වා ඉහළ ගියේ ඊයේ හමුවූ ආසාදිතයින් 3676 දෙනා සමඟයි. එය මෙතෙක් දිනක දී මෙරටින් වාර්තා වූ වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාව ද වනවා. කෙසේ වෙතත්, අද පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ තාක්ෂණික වශයෙන් කොරෝනා සමාජ ගත වී ඇති බවට මේ දක්වා ප්‍රකාශ කළ නො හැකි බවයි.

කොවිඩ් ව්‍යාප්තිය පිළිබද දත්ත නිවැරදි නො වීමෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. ගම්පහ බහුතර කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් අවශ්‍යතාවයක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගෙන් බහුතරය සඳහා ඔක්සිජන් අවශ්‍ය බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ස්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ගෝතිලක සමරසේකර ප්‍රකාශ කළා.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල කොරෝනා වැළදීම හේතුවෙන් ඔහු මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු වී තිබෙනවා. මෙරට වෛද්‍යවරුන් 209 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති අතර, වෛද්‍යවරුන් 3 දෙනෙකු මිය ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ හෙද හෙදියන් 1000කට වැඩි පිරිසක් ද කොවිඩ් ආසාදිතයින් බවට පත් ව ඇති අතර, ඉන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි. රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයිගෙන් ද බහුතරයක් මේ වන විට වෛරසයට ගොදුරු වී ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 37 දෙනෙකුට ද කොරෝනා වැළදී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියා. එමෙන්ම, මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් රත්නායකට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

අම්පාර - උහන, වෑරන්කැටගොඩ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත ව නිවසේ දී මිය ගිය පුද්ගලයෙකුගේ සමීපතමයන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පැමිණීමේ දී නිවැසියන් සෞඛ්‍ය බලධාරීන්ට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණා. කෙසේ වෙතත්, අධිකරණ නියෝගයක් මත අදාළ පවුලේ සාමාජිකයින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණු අතර දින 14කට පසු ඔවුන්ට එරෙහි ව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත යි.

මේ අතර, මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් 164,308 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 27,888 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 95,533 දෙනෙකුට ලබා දී ඇති බවයි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 7155කට සහ දෙවන මාත්‍රාව 665කට ලබා දී තිබෙනවා. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 5070 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 27320 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. එමෙන්ම, මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අදත් දිවයිනේ ස්ථාන කිහිපයක ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඒ අනුව කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ත්‍රිවිධ හමුදාව විසින් සිදුකරන අතර එම උද්‍යානයේ දී මෙන්ම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සයිනොෆාම් දෙවන එන්නත ලබාදීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඊට අමතර ව කළුතර, බදුල්ල, කිලිනොච්චිය, අනුරාධපුර සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලදී ද සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදීම සිදුකරන බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now